Saturday, December 21, 2013

මිනිසුන්, දෙවියන් සහ මිනිසුන්



මිනිසා මිහිමත වාසය කරන තවත් එක සත්ව කොටසක් බව අමතක වන තරමට මිනිසා නිරුවත් ලෝකයෙන් ඈත් වෙමින් යයි. මෙතනදි මම නිරුවත් ලෝකය කිව්වේ ස්වභාව ධර්මයට. මොකද මිනිහා හැර වෙන කිසිම සතෙක් නිරුවත ප්‍රශ්නයක් කර නොගෙන නිදහසේ ඉන්න නිසා. ලෝකයේ ඉන්න මුලු සත්ව වර්ග වලින් මිනිසා තරම් මිහිතලය යටත් කර ගත්ත වෙනත් සත්ව විශේෂයක් ඉතිහාසයේ හිටියද කියන්න මම දන්නේ නෑ (සමහර විට ඩයිනෝසරස් මිනිහාවගේ ලෝකයේ ආදිපත්‍ය පතුරවන් ඉන්න ඇති, ඒත් උන් වඳවෙලා නිසා මිනිසා තරම් ලොක්කෙක් වෙන්න නැතුව ඇති කියල ගෙම්බට හිතනවා)

කොහොම උනත් වර්ග කීපයක් මිනිස්සු හිටියත් අනිතිමට පැවැත්මක් තිබ්බේ Homo sapiens sapiens කියන විශේෂයට විතරයි. ඒ කියන්නේ අද ජීවත් වෙලා ඉන්න මිනිසුන් වර්ගයට.

මේකා මුල් කාලේ අමු හෙලුවෙන්, අමු මස් කාල, ගස් වල කොළ ගෙඩි කාල, ගස් යට, ගල් ගුහාවල නිදා ගෙන හිටපු බොහොම ප්‍රාථමික ජීවියෙක් උනත්, පස්සේ බොහොම හැඩ වැඩ වුනා. ඩාවින් කිව්වා අපි වඳුරගෙන් පැවතෙන්නේ කියලා, ඒත් එක වාදය්ක් විතරයි. වාදයක් කියන්නේ ඕන වෙලේක බොරු වෙන්න පුළුවන් එකක්. මමනම් ඕක පිළිගන්නේ නෑ. බොරුයි කියන්න තරම් සාක්ෂි මා ගාව නැති උනත් මගේ පූර්වජය වදුරෙක් වෙන්න බෑ කියලනම් මට හිතෙනවා. මිනිහගේ දියුණු වීමේ රහස තියෙන්නේ කොතනද කියල හැහුවොත්, උත්තරය ඔලුවෙ කියන එක. මොකද මිනිහා දියුණු වුනේ මොළය පාවිච්චි කරපු නිසා.

මිනිහට හැමදාම ඕන වුණේ පහසුවෙන් ඉන්න. ලේ රසට අමු මස් කෑව මිනිහ ඒක පුච්චල කෑව, වේලල කෑව, එකට රස කාරක එකතු කලා, අන්තිමට කෑම හදන එක ක්‍රමයක්, මෙතඩ් එකක්, විකුණගෙන කන්න පුළුවන් රෙසිපි එකක්, බවට පත් වුනා. අමු නිරුවතින් තමගෙ කියන මමත්වයවත් නැති ගැහැණු මිනිස්සු රංචුවක් මැදට වෙලා, තලු මරල, හප කරල, බොහොම රළු විදිහට කාලා දූවිලි පිරුණු බිම නිදා ගෙන, තමන්ට හිතුන විදිහට මල පහ කරපු මේකා, බොහොම පිළිවෙලට ඇදල කරල තරු පහේ හෝටලේක හැදි ගෑරුප්පු වලින් හෙමින් කපල කොටල තලු මරල ලතාවට කාල, අඩියක් විතර යටට එරෙන සැප මෙට්ටෙක නිදාගෙන, තවත් කෝටියක් විතර වටින බාත් රූම් එකක්, ගඳ ගහන වැඩෙත් සුවඳට කරන තැනට දි‍යුණු වුනේ හිතීමේ අනුහස නිසයි.කොයි විදිහට හිතුවත් මට හිතෙන දේ තමයි ආහාර,  නිවාස සහ විළි වසා ගැනීම කියන මූලික අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීම වටා තමයි මිනිසාගේ සියලු සිතුම් පැතුම් දියුණු වුනේ කියලා.

මිනිහට දෙවියා කියන කෙනා හම්බෙන්නේ ඉතිහාසයේ කොතනදිද කියන්න මම දන්නේ නෑ. කොතනදි හම්බුනත් දෙවියා තරම් මිනිස්සු බය, වදින පුදන, ගරු කරන, සලකන කෙනෙක් නැහැයි කියල මම හිතන්නේ. දෙවියා මිනිහාට ලං උනේ කවදා උනත්, ඒ ලංවුන දවසෙ ඉදන් මිනිහා වෙනස් වුනා. මිනිහා ස්වභාවයෙන් දුරස් වුනා, තමන් ගැන විස්වාස කරනවට වඩා නොදැකපු දෙවියාට විස්වාසය තිබ්බා, තමන් පහත් කරන් දෙවියා උසස් කලා, තමන් විඳවමින් දෙවියන් වින්දනයට පත් කලා, තමන් දකින විදින ජීවිතය, නොදැනෙන නොදකින දෙවියන්ට කැප කලා, දෙවියන් සනසන්න තමන්ගෙ සැනසීම නැති කර ගත්තා, දෙවියන්ගෙ පිපාසය සන්සිඳවන්න තමන් පිපාසයට පත් වුනා, දෙවියන්ගෙ කුස පුරවන්න තමන් බඩගින්නේ හිටියා. තමන්ගෙ බැදීම් කඩල දෙවියන්ට බැඳුනා.

දෙවියන් වෙනුවෙන් සතෙක් මරන්න, මිනිහාට බොහොම පහසු වුනා. තමා විසින්ම පාරිශුද්ධියට පත් කරපු දෙවියාගේ සතුට පිණිස මිනිහා සතුන් මරමින්, බිලි පූජා දෙමින්, ලේ හලමින් තමා පාරිශුද්ධත්වයෙන් සහ මනුස්ස කමෙන් ඈත් වුනා. දෙවියන් අමරණීය කරවපු මිනිසා දෙවියන්ගෙන් අමරණීයත්වය නැමති සාපය නැවත ප්‍රාර්තනා කලා (තවමත් අර මොලේ පාවිච්චි කරල දියුණු වුන මිනිහා මේ දේ කරනවා)
මේ දෙවියා එක එක විදිහට විස්තර කරපු මිනිස්සු එක එක රාමු හදාගෙන ඒ රාමු වලට තමන්ගේ දෙවියවා දා ගත්තා. එතන රාමුවට නමක් දැම්මා ආගම කියලා. 

එතන ඉදන් දෙවියාගේ ඉල්ලීම සහ දෙවියා වෙනුවෙන් කැපවීම ආගමික මුහුණුවරක් ගත්තා. එතනදි තමන් පුදන දෙවියා වෙනුවෙන් අර දියුණු වුනු මිනිසා යුධ වැදුනා, ලේ හැලුවා, පුද පූජා කලා, සීමා මායිම් වෙන් කලා, දදදිය ශ්‍රමය වැය කරල මහා ගොඩනැගිලි හැදුවා. මේ හැම එකකින්ම මිනිහා දෙවියන්ට බැදුනා, දෙවියන් සතුටු කරන්න උත්සාහ කලා. හැබැයි කොයි දෙවියට උනත් මිනිහගේ හිතේ තිබුනු අර ප්‍රාථමික බය තිබුනා. මේ බයට කිසිම රාමුවක් තිබ්බේ නෑ, කිසිම පාටක්, සංකේතයක්, දේශසීමවක් නැති, අර ප්‍රාථමික මිනිසා තුළ තිබුණ බය එක එක මුහුණුවලින්, පාට වලින්, රාමු වලින්, අමරණීයත්වයට පත් වුනු පොදුදෙවියට කා තුළත් තිබුනා. බය වෙනුවෙන් හැමෝම වැඩ කලා. ඒ කරපු වැඩ, තාමත් කරන වැඩ වල අර ප්‍රාථමික කැලෑ මිනිහගේ වල් ගති සේරම තිබුනා, තාමත් තියෙනවා.

මිනිස් ඉතිහාසයේ මැරිලා ආයෙ ඉපදුනු මිනිස්සු හම්බෙලා තියනවා. ඒ කාටවත් දෙවියො හම්බුනා කියලානම් ගෙම්බට ආරංචි වෙලා නෑ. ලෝකයේ මේ මිනිස්සු දැන් කෝටි 700ක් පැනලා. ඕකෙන් බාගෙකට වඩා මේ නොදැකපු, නොවිඳපු දෙවියා වෙනුවෙන් කැපවෙලා ඉන්නවා තාමත්. දෙවියා නිසා හොඳ මිනිස්සු බිහි වෙලා ඉන්නවා කියලා මිනිස්සු හිතන් ඉන්නවා. දෙවියා යහපත් දේ දීලා තියනව කියල මිනිස්සු හිතන් ඉන්නවා. මොකද ඒක මිනිහගේ ප්‍රාථමික ගතියක්. තමන්ට විස්තර කරන්න බැරි හොඳ නරක දේවල් දෙවියන්ට බාර දීලා ප්‍රීතියට පත් වෙන්න ජාන වලින්ම එන මොකද්ද එකක් මිනිහට තියනවා.(දෙය්යො බැලුව, දෙය්යොම බලා ගන්න ඕන, දෙය්යන්ටවත් පෙන්නෙ නැද්ද, වගේදේවල් කියන්නෙ එකනෙ මිනිස්සු, මේ ටික සිංහලෙන් කිව්වට කොයි භාෂාවෙත් දෙය්ය ගැන සිහි කරනව අර විස්තර කරන්න අමාරු දේවල් දැක්කහම, ඇහුවහම )
දෙය්යො ගැන දන්න දෙය්යො ලඟට ගිය න්‍යායාචාර්යවරු ඉන්නව. හැබැයි කවුරුත් කියන්නෙ අන්තිමට කට්ටියම අමරණීය කරල කට්ටියම තොගේට දෙය්යො ලඟට ගන්නම් කියල. මොකද මැරෙන මැරෙන කෙනා ගන්න එක දෙවියන්ට වගේම දෙය්ය ලඟ ඉන්න මෙහෙන් ගිය නියෝජිතයටත් කරදර වැඩක් වෙන්න ඇති. කොහොම උනත් යන දවසට එහෙ යන්න නම් ගොඩක් අය කැමැත්තෙන් ඉන්න එක නම් රහසක් නෙමෙයි.

මිනිසාගේ අවසානය කවදා කොහොම වෙයිද දන්නේත් දෙය්යොම කියල බොහොම දෙනෙක් හිතන් හිටියත් ඒක වෙන්න පුළුවන් ආසන්නම විදිහ 'මිනිසා විසින් තමාගේ අවසානය ලඟා කර ගැනීම මිසක් දෙවියා විසින් එය  කරන තුරු බලා සිටීම නොවන බවයි' ගෙම්බට හිතෙන්නේ. ඔන්න දෙය්යො එහෙම ඕක මට කිව්වේ නෑ. දෙවියොත් ඔලුවෙ තියාගෙන දියුණුවෙන මිනිහා තමාගෙ වටපිටාව සහ නිරුවත් ලෝකය අමතක කරමින් යනවා. සොබා දහමේ නීති රීති ඉක්මවාගෙන යනවා.දෙවියන් වෙනුවෙන් ලෝකය බෙදා ගෙන සටන් කරනවා. වඩා යහපත් වෙන්න, ඉමක් නැති පහසුවක් සුවයක් සඳහා නොනවතින අරගලේක මිනිස්සු යෙදිලා ඉන්නවා. දෙවියන්ටත් මේ ඉරණමෙන් බේරෙන්න අමාරුයි. සමහර විට අනාගතේ දවසක දෙවියා මිනිසා බවට පත් වේවි. මිනිසා වඳවෙලා දෙවියා වෙන්නට උත්සාහ කරපු, මානවයා දෙවියා බවට පත් වේවි. එදාට එක පාරටම අර අමරන්ණීයත්වය ලබා ගන්නා දවස (අවසාන විනිශ්චය )උදා වේවි.


No comments:

Post a Comment