Monday, December 30, 2013

නොහැක හැරයන්න

නොහැක හැර යන්න මට
නොහැක යන්න මට
නොහැක මට
නොහැක

ඔබට ආදරේ කරන්න
ඔබට ආදරේ
ඔබට

නොහැක
හැර
යන්න

ඔබට
ආදරේ

කරන්න

Wednesday, December 25, 2013

Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා: ශිශ්නයට හෙටක් | A tomorrow for the penis

Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා: ශිශ්නයට හෙටක් | A tomorrow for the penis: එතෙක් මෙතෙක් සිංහල සිනමාවෙහි, ලාංකීය (සිංහල?) තරුණයාගේ ඛේදවාචකය තථ්‍යාකාරයෙන් නිරූපිත විශිෂ්ටතම සිනමා කෘතිය ධර්මසේන පතිරාජයන්ගේ ‘අහස් ග...

Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා: නාසරෙත්හි යේසුස් දෙස නිරුවත් ඇසෙකින් බැලීම | Jesus...

Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා: නාසරෙත්හි යේසුස් දෙස නිරුවත් ඇසෙකින් බැලීම | Jesus...: ලේඛකයා කෙදිනක හෝ කිතුණුවකු නොවීය. ඔහු බයිබලය මුළුමනින්ම වාගේ කියවා ඇති මුත් ඒ එහි අපූර්ව සාහිත්‍ය රසය පිණිස මිස ආගමිකාර්ථයකින් නොවේ. යේසු...

Saturday, December 21, 2013

මිනිසුන්, දෙවියන් සහ මිනිසුන්



මිනිසා මිහිමත වාසය කරන තවත් එක සත්ව කොටසක් බව අමතක වන තරමට මිනිසා නිරුවත් ලෝකයෙන් ඈත් වෙමින් යයි. මෙතනදි මම නිරුවත් ලෝකය කිව්වේ ස්වභාව ධර්මයට. මොකද මිනිහා හැර වෙන කිසිම සතෙක් නිරුවත ප්‍රශ්නයක් කර නොගෙන නිදහසේ ඉන්න නිසා. ලෝකයේ ඉන්න මුලු සත්ව වර්ග වලින් මිනිසා තරම් මිහිතලය යටත් කර ගත්ත වෙනත් සත්ව විශේෂයක් ඉතිහාසයේ හිටියද කියන්න මම දන්නේ නෑ (සමහර විට ඩයිනෝසරස් මිනිහාවගේ ලෝකයේ ආදිපත්‍ය පතුරවන් ඉන්න ඇති, ඒත් උන් වඳවෙලා නිසා මිනිසා තරම් ලොක්කෙක් වෙන්න නැතුව ඇති කියල ගෙම්බට හිතනවා)

කොහොම උනත් වර්ග කීපයක් මිනිස්සු හිටියත් අනිතිමට පැවැත්මක් තිබ්බේ Homo sapiens sapiens කියන විශේෂයට විතරයි. ඒ කියන්නේ අද ජීවත් වෙලා ඉන්න මිනිසුන් වර්ගයට.

මේකා මුල් කාලේ අමු හෙලුවෙන්, අමු මස් කාල, ගස් වල කොළ ගෙඩි කාල, ගස් යට, ගල් ගුහාවල නිදා ගෙන හිටපු බොහොම ප්‍රාථමික ජීවියෙක් උනත්, පස්සේ බොහොම හැඩ වැඩ වුනා. ඩාවින් කිව්වා අපි වඳුරගෙන් පැවතෙන්නේ කියලා, ඒත් එක වාදය්ක් විතරයි. වාදයක් කියන්නේ ඕන වෙලේක බොරු වෙන්න පුළුවන් එකක්. මමනම් ඕක පිළිගන්නේ නෑ. බොරුයි කියන්න තරම් සාක්ෂි මා ගාව නැති උනත් මගේ පූර්වජය වදුරෙක් වෙන්න බෑ කියලනම් මට හිතෙනවා. මිනිහගේ දියුණු වීමේ රහස තියෙන්නේ කොතනද කියල හැහුවොත්, උත්තරය ඔලුවෙ කියන එක. මොකද මිනිහා දියුණු වුනේ මොළය පාවිච්චි කරපු නිසා.

මිනිහට හැමදාම ඕන වුණේ පහසුවෙන් ඉන්න. ලේ රසට අමු මස් කෑව මිනිහ ඒක පුච්චල කෑව, වේලල කෑව, එකට රස කාරක එකතු කලා, අන්තිමට කෑම හදන එක ක්‍රමයක්, මෙතඩ් එකක්, විකුණගෙන කන්න පුළුවන් රෙසිපි එකක්, බවට පත් වුනා. අමු නිරුවතින් තමගෙ කියන මමත්වයවත් නැති ගැහැණු මිනිස්සු රංචුවක් මැදට වෙලා, තලු මරල, හප කරල, බොහොම රළු විදිහට කාලා දූවිලි පිරුණු බිම නිදා ගෙන, තමන්ට හිතුන විදිහට මල පහ කරපු මේකා, බොහොම පිළිවෙලට ඇදල කරල තරු පහේ හෝටලේක හැදි ගෑරුප්පු වලින් හෙමින් කපල කොටල තලු මරල ලතාවට කාල, අඩියක් විතර යටට එරෙන සැප මෙට්ටෙක නිදාගෙන, තවත් කෝටියක් විතර වටින බාත් රූම් එකක්, ගඳ ගහන වැඩෙත් සුවඳට කරන තැනට දි‍යුණු වුනේ හිතීමේ අනුහස නිසයි.කොයි විදිහට හිතුවත් මට හිතෙන දේ තමයි ආහාර,  නිවාස සහ විළි වසා ගැනීම කියන මූලික අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීම වටා තමයි මිනිසාගේ සියලු සිතුම් පැතුම් දියුණු වුනේ කියලා.

මිනිහට දෙවියා කියන කෙනා හම්බෙන්නේ ඉතිහාසයේ කොතනදිද කියන්න මම දන්නේ නෑ. කොතනදි හම්බුනත් දෙවියා තරම් මිනිස්සු බය, වදින පුදන, ගරු කරන, සලකන කෙනෙක් නැහැයි කියල මම හිතන්නේ. දෙවියා මිනිහාට ලං උනේ කවදා උනත්, ඒ ලංවුන දවසෙ ඉදන් මිනිහා වෙනස් වුනා. මිනිහා ස්වභාවයෙන් දුරස් වුනා, තමන් ගැන විස්වාස කරනවට වඩා නොදැකපු දෙවියාට විස්වාසය තිබ්බා, තමන් පහත් කරන් දෙවියා උසස් කලා, තමන් විඳවමින් දෙවියන් වින්දනයට පත් කලා, තමන් දකින විදින ජීවිතය, නොදැනෙන නොදකින දෙවියන්ට කැප කලා, දෙවියන් සනසන්න තමන්ගෙ සැනසීම නැති කර ගත්තා, දෙවියන්ගෙ පිපාසය සන්සිඳවන්න තමන් පිපාසයට පත් වුනා, දෙවියන්ගෙ කුස පුරවන්න තමන් බඩගින්නේ හිටියා. තමන්ගෙ බැදීම් කඩල දෙවියන්ට බැඳුනා.

දෙවියන් වෙනුවෙන් සතෙක් මරන්න, මිනිහාට බොහොම පහසු වුනා. තමා විසින්ම පාරිශුද්ධියට පත් කරපු දෙවියාගේ සතුට පිණිස මිනිහා සතුන් මරමින්, බිලි පූජා දෙමින්, ලේ හලමින් තමා පාරිශුද්ධත්වයෙන් සහ මනුස්ස කමෙන් ඈත් වුනා. දෙවියන් අමරණීය කරවපු මිනිසා දෙවියන්ගෙන් අමරණීයත්වය නැමති සාපය නැවත ප්‍රාර්තනා කලා (තවමත් අර මොලේ පාවිච්චි කරල දියුණු වුන මිනිහා මේ දේ කරනවා)
මේ දෙවියා එක එක විදිහට විස්තර කරපු මිනිස්සු එක එක රාමු හදාගෙන ඒ රාමු වලට තමන්ගේ දෙවියවා දා ගත්තා. එතන රාමුවට නමක් දැම්මා ආගම කියලා. 

එතන ඉදන් දෙවියාගේ ඉල්ලීම සහ දෙවියා වෙනුවෙන් කැපවීම ආගමික මුහුණුවරක් ගත්තා. එතනදි තමන් පුදන දෙවියා වෙනුවෙන් අර දියුණු වුනු මිනිසා යුධ වැදුනා, ලේ හැලුවා, පුද පූජා කලා, සීමා මායිම් වෙන් කලා, දදදිය ශ්‍රමය වැය කරල මහා ගොඩනැගිලි හැදුවා. මේ හැම එකකින්ම මිනිහා දෙවියන්ට බැදුනා, දෙවියන් සතුටු කරන්න උත්සාහ කලා. හැබැයි කොයි දෙවියට උනත් මිනිහගේ හිතේ තිබුනු අර ප්‍රාථමික බය තිබුනා. මේ බයට කිසිම රාමුවක් තිබ්බේ නෑ, කිසිම පාටක්, සංකේතයක්, දේශසීමවක් නැති, අර ප්‍රාථමික මිනිසා තුළ තිබුණ බය එක එක මුහුණුවලින්, පාට වලින්, රාමු වලින්, අමරණීයත්වයට පත් වුනු පොදුදෙවියට කා තුළත් තිබුනා. බය වෙනුවෙන් හැමෝම වැඩ කලා. ඒ කරපු වැඩ, තාමත් කරන වැඩ වල අර ප්‍රාථමික කැලෑ මිනිහගේ වල් ගති සේරම තිබුනා, තාමත් තියෙනවා.

මිනිස් ඉතිහාසයේ මැරිලා ආයෙ ඉපදුනු මිනිස්සු හම්බෙලා තියනවා. ඒ කාටවත් දෙවියො හම්බුනා කියලානම් ගෙම්බට ආරංචි වෙලා නෑ. ලෝකයේ මේ මිනිස්සු දැන් කෝටි 700ක් පැනලා. ඕකෙන් බාගෙකට වඩා මේ නොදැකපු, නොවිඳපු දෙවියා වෙනුවෙන් කැපවෙලා ඉන්නවා තාමත්. දෙවියා නිසා හොඳ මිනිස්සු බිහි වෙලා ඉන්නවා කියලා මිනිස්සු හිතන් ඉන්නවා. දෙවියා යහපත් දේ දීලා තියනව කියල මිනිස්සු හිතන් ඉන්නවා. මොකද ඒක මිනිහගේ ප්‍රාථමික ගතියක්. තමන්ට විස්තර කරන්න බැරි හොඳ නරක දේවල් දෙවියන්ට බාර දීලා ප්‍රීතියට පත් වෙන්න ජාන වලින්ම එන මොකද්ද එකක් මිනිහට තියනවා.(දෙය්යො බැලුව, දෙය්යොම බලා ගන්න ඕන, දෙය්යන්ටවත් පෙන්නෙ නැද්ද, වගේදේවල් කියන්නෙ එකනෙ මිනිස්සු, මේ ටික සිංහලෙන් කිව්වට කොයි භාෂාවෙත් දෙය්ය ගැන සිහි කරනව අර විස්තර කරන්න අමාරු දේවල් දැක්කහම, ඇහුවහම )
දෙය්යො ගැන දන්න දෙය්යො ලඟට ගිය න්‍යායාචාර්යවරු ඉන්නව. හැබැයි කවුරුත් කියන්නෙ අන්තිමට කට්ටියම අමරණීය කරල කට්ටියම තොගේට දෙය්යො ලඟට ගන්නම් කියල. මොකද මැරෙන මැරෙන කෙනා ගන්න එක දෙවියන්ට වගේම දෙය්ය ලඟ ඉන්න මෙහෙන් ගිය නියෝජිතයටත් කරදර වැඩක් වෙන්න ඇති. කොහොම උනත් යන දවසට එහෙ යන්න නම් ගොඩක් අය කැමැත්තෙන් ඉන්න එක නම් රහසක් නෙමෙයි.

මිනිසාගේ අවසානය කවදා කොහොම වෙයිද දන්නේත් දෙය්යොම කියල බොහොම දෙනෙක් හිතන් හිටියත් ඒක වෙන්න පුළුවන් ආසන්නම විදිහ 'මිනිසා විසින් තමාගේ අවසානය ලඟා කර ගැනීම මිසක් දෙවියා විසින් එය  කරන තුරු බලා සිටීම නොවන බවයි' ගෙම්බට හිතෙන්නේ. ඔන්න දෙය්යො එහෙම ඕක මට කිව්වේ නෑ. දෙවියොත් ඔලුවෙ තියාගෙන දියුණුවෙන මිනිහා තමාගෙ වටපිටාව සහ නිරුවත් ලෝකය අමතක කරමින් යනවා. සොබා දහමේ නීති රීති ඉක්මවාගෙන යනවා.දෙවියන් වෙනුවෙන් ලෝකය බෙදා ගෙන සටන් කරනවා. වඩා යහපත් වෙන්න, ඉමක් නැති පහසුවක් සුවයක් සඳහා නොනවතින අරගලේක මිනිස්සු යෙදිලා ඉන්නවා. දෙවියන්ටත් මේ ඉරණමෙන් බේරෙන්න අමාරුයි. සමහර විට අනාගතේ දවසක දෙවියා මිනිසා බවට පත් වේවි. මිනිසා වඳවෙලා දෙවියා වෙන්නට උත්සාහ කරපු, මානවයා දෙවියා බවට පත් වේවි. එදාට එක පාරටම අර අමරන්ණීයත්වය ලබා ගන්නා දවස (අවසාන විනිශ්චය )උදා වේවි.


Sunday, December 1, 2013

ගෙම්බට පේන උදෑසන

උදේ පාන්දරට නැගිට්ටහම මොනවද හිතෙන්නේ. ගෙම්බෙක්ට වගේ නෙමෙයි.... මනුස්සයෙක්ට කොයි තරම් දේවල්නම් තියනවද?
එක එක අයට එක එක දේවල් කලපනා වෙනව. ආගමික භක්තියෙන් ඉන්න අයටනම් උදෑසන කියන්නේ විමුක්ති මාරගය ලබා ගන්න අනුගමනය කරන ක්‍රියාකාරකම් වල යෙදෙන්න (ඒ කියන්නේ මේ භාවනා කරන්න, යෝග ව්‍යායාම සිදු කරන්න ) හොඳ වෙලාවක්. ගොවියෙක්ටනම් ඉතින් පානදර නැගිටල තමන්ගේ වගාවන්ට සාත්තු කරන්න වෙනව. ව්‍යාපාරිකයෙක්ට තමගෙ ව්‍යාපාර වැඩ වලට දවස කොහොමද ගත කරන්නේ කියල ප්ලෑන් කර ගන්න උදෑසන වැදගත් වෙනව. අම්මලට ඉතින් කුස්සියේ වගේම ගෙදරත් ලොකු යුද්ධයක් තියනව උදෙන්ම.වැඩට යන කෙනෙක්ට කර ගන්න දේවල් ගොඩයි, රෙදි මදිනව, නානව, ඇඟ හෝදනව, සපත්තු මදිනව, සාරි අදිනව, ජෙල් ගානව, කොණ්ඩෙ පීරනව, බුස් එකට කෝච්චියට දුවනව, එකී මෙකී නොකී වැඩ මහා ගොඩක් උදේට වෙනව.
මේ හැම දෙයක් දිහා බලාගෙනම ඉර පායන්නෙ එකම විදිහටද කියල මට හිතෙනව.සමහර විට එහෙම පේන්නේ මම අහසෙ ඉන්න ගෙම්බෙක් නිස වෙන්ඩත් ඇති.......
හැමදාම නැගෙනහිරින්............ මිනිස්සු ඉපදෙනව උදේට, මැරෙනව උදේට. ඒත් ඉර නොමැරී හැමදාම පායනව. දවසේ කොයි වේලාව ගත්තත් මිනිස්සුන්ගෙ තියෙන්නෙ විසම්මුතියක්. එකඟ කමක් නෑ. හැමෝම මිනිස්සු ක්‍රියාකාරකමකින් එකම දේ කලත් සිතුවිලි වල එකඟ කමක් නෑ. විවිධාකාර අදහස් මහ ගොඩක් හිතේ තියාගෙන එක විදිහකට වැඩ කරන මිනිස්සු ගොඩක් දැක්කහම පුදුමත් හිතෙනව. හැබැයි මිනිස්සු කොයි විදිහට විවිධාකාර උනත්, සිතුවිලි විවිධාකාර උනත්, ඔවුන් ජීවත් වන පරිසරය හැම විටම ඒකාකාරී විදිහටයි ගෙවෙන්නෙ. නැගෙනහිරින් ඉර පායල බටහිරින් බැහැල යනව, අව්ව වැස්ස සුළග මේවා වෙනස් වෙන්නෙ එකම රටාවකට.
එහෙනම් මේ උදෑසන ලස්සනයි කියන්නෙ කවුරු නිසාද. මම වගේ ගෙම්බෙක්ටනම් හැම දේම හැම වෙලේම ලස්සනයි ලස්සනයි. ඒත් මිනිස්සුන්ට එහෙම නෑ. එහෙම හිතන්න බෑ
මිනිස්සු ලස්සනයි කියන දෙවල් වල තියන ලස්සන සාපේෂයි. ඒ ලස්සන ඇති වෙන්න මිනිස්සුන්ගේ හිත්වල. ඒ සාපේක්ෂ ලස්සන අනුවයි මිනිස්සු කියන්නේ උදෑසන ලස්සනයි කියලා. එක එක කෙනාට උදේ උණත් ලස්සන වෙන්නේ එක එක විදිහටනේ.
විවිධාකාර සිතුවිලි (හොඳ නරක, ධෛරයමත්, පරාජිත, මෝඩ, කුහක, තරහ, වැඩදායී, කරුණාබර, උපෙක්ෂාසහගත, විපලවාදී වගේ තව දහස්ගානක් සිතුවිලි ) හිතේ තියාගෙන මිනිස්සු විවිධ අරමුණු තකා උදේ ඉදන් රෑ වෙනකම් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනව. 
අරමුණ සමහර විට, මුදල් සෙවීම වගේ දේකට ලඝු කරන්නත් පුළුවන්. සමහර විට අරමුණ ඊලග ඡන්දෙ, විභාගයක්, දරුවන්නට කෑම ටිකක්, ගෙයක් දොරක් හදා ගැනීම, බඩු ටික හොඳ මිලකට විකිණීම, කෙල්ලත් එක්ක දවසම ආදරෙන් වෙලිල ඉන්න එක, කොහොම හරි අවශ්‍ය මිනිහව මරා ගන්න එක, හොරකම් කරල හරි ගංජා සුරුට්ටුවක් ගැහීම, ලෙඩට බේත් ටිකක් ගැනීම, කුඹුරෙ ගොයම් ටික අදම කපල ඉවර කරන එක,දහසක් දෙවල්...දහසක් සිතුවිලි.....කෙනාගෙන් කෙනාට රැකියාවෙන් රැකියාවට, රටෙන් රටට, ආගමෙන් ආගමට, වයසෙන් වයසට.... අපොයි කොයි තරම් නම් දෙවල් ගොඩක්ද මේ උදේට මිනිස්සුන්ගෙ හිත් වල තියෙන්න. මේ සිතුවිලි ලස්සනද කැතද හොඳද නරකද කියල කියන්න බෑ. මටනම් බෑ.... මොකද ඒවගේ ලස්සන හරි හොඳ හරි තියෙන්නෙ ඒ ඒ කෙනාට අනුව. මිනිහෙක් මරන එක නරක උනාට, සමහර විට කන්න බොන්න ජීවත් වෙන්න මිනිහෙක්ට මරන චේතනාව ලස්සන අරමුනක් කර ගන්න වෙනව වෙන්න පුළුවන්
කොහොම උනත් මිනිස්සු අඩු වැඩි විදිහට ඔය කියපු දහසක් අරමුණු ඉටු කර ගනී. ඊට පස්සේ හෙටත් උදෑසනක් ඒවි.
ඒත් ඒ උදෑසන වෙනස්, වෙනස් වෙන්නේ අපි නිසා, මිනිස්සු නිසා, මිනිස්සුන්ගේ සිතුවිලි නිසා.





Saturday, November 30, 2013

වෙන්වීම


මේ කතාව පටන් අරගත්තෙත් නෑ, ඉවර උනෙත් නෑ. මේක කතාවක ආරම්භයක් හෝ අවසානයක් නෙමෙයි කියන්නත් බෑ.
...................................................
ඒ හමුවීම කිසිම හැගීමක් දැනීමක් තිබුන දෙයක් කියල හිතෙන්නෙ නෑ.අපි ඔහේ බලන් හිටියා මිසක් කාටවත් කතා කරන්න උවමනාවක් තිබ්බේ නෑ. ඈතින් පේන්න තිබ්බේ කොනක් නොපෙනෙන මහා සාගරේ විතරයි. අපිත් හරියට ඈතින් පේන ක්ෂිතිජය වගේ, ලඟින් හිටියට කවදාවත් එක් නොවෙන අහසයි පොළවයි වගේ. ඉතින් මට ඇහුනෙ මුහුදෙ මහා රළ බිඳෙන හඬයි, අපි හුස්ම ගන්න සද්දෙයි විතරයි. සමහර විට මුහුදෙ තිබ්බ සද්දෙටත් වැඩිය වරින් වර නැගෙන සුසුම් වල සද්දෙ වැඩි වුනා. ඒත් වචනයක් කතා කරන්න ශක්තියක් අපිට තිබුනෙම නෑ.
'අපි යමු'
අපි හෙමින් නැගිටල ඇවිදගෙන ආව.හෙමින් අපේ ඇඟිලි එක්කට එකතු වෙනව, අපි දෙන්නගෙන් කාටවත් ඕන උනේ නෑ වෙනද වගේ තදින් අල්ල ගන්න. අන්තිමට අපි අපි දිහා බලන් උන්නා. ඇස් වල යාන්තම් බොඳ වේගන ආවත් ඒවට නිදහසේ ගලා යන්නවත් ලෝකයෙන් ඉඩක් නෑ. කඳුළුත් නොහෙලම අපි වෙන් උනා. මම තාමත් එතනට එනවා. මුහුද තාමත් වෙනද සද්දෙන්ම වෙරලෙ හැප්පෙනව.
.....................................................

Wednesday, October 16, 2013

බඹර සිතුවිලි

දුටු නමුත් නුඹ පිපී 
දිලෙන බව මල් අතර
සිපගන්න තාමත්
බයයි මම කුමරියේ
බඹර තුඩු විස පිරුන
නුඹේ ඔය පෙති වලට
බර වැඩියි තාමත්
මගේ මල් කුමරියේ
එහෙත් මම පමණක්ද
නුඹ දුටුවේ කුමරියේ
සිප ගන්න තාමත්
මට බයයි කුමරියේ
දුරින් හිඳ බියපතව
සැලි සැලී හිඳින්නම්
වෙනත් කෙනෙකුට නුඹේ
බහ නොදෙන් කුමරියේ
නොහැකිනම් හිඳින්ට 
මා සමග කුමරියේ
ඔබ සමග මටද මුකුලිත වන්න
නුඹේ ඔය පෙති අතර
ඉඩක් දෙනු කුමරියේ

Saturday, September 28, 2013

වැහි වලාකුල
බිම බලාගෙන 
හැමදාම හඬන
අඳුරු තිර කඩින්
මා ගතට සුව ගෙනෙන
ආයෙත් බිම බලාන
ගොරවන

හඬ දෙන
කඳුලින් මා තෙත් වනතෙක්
හඬා වැටෙන
හිරු නැගෙන විට
කඳුලු පිසදා සැඟවෙන
ඔබ

Thursday, September 12, 2013

ලංව අපි


නෙතට නෙත
ආදරේ නොකියාම

ලංව අපි
බලන් ඉමු හැමදාම
කිසිදාක
නොපවසමු
ආදරෙයි හැමදාම
ඉරත් නැග බැස ගොසින්
හඳ නැග බැස ගොසින්
දිනෙන් දින ගතව අපි බොහෝ දුර
පැමින ඇත
එහෙත් ඔබ මා වෙතම
මගෙ නෙත්ද ඔබ වෙතම

Thursday, August 29, 2013

ඔබ

වෙහෙස දැනෙයි
මග දිගට
හැරී බලමි හැම විටම
ඉවත නොයා
කිසි විටක
ඔබ ඇත 
සිතුවිලි අතර

වැටෙන විටදි හිනැහී අත් දිගු කරනා
නෙතට උනන කඳුළු සෙමෙන් පිස දමනා
දැවෙන සිතට මද සුළඟක් මුසු කරනා
ඉවත නොයා මගෙ තනියට ලඟ හිදිනා

Monday, August 5, 2013

සුලඟ සහ මල

සුලං රැල් හමන්න
රැගෙන මා තව දුරට
වෙලෙමින් ඔබ සමග
මමද යමි තව දුරට
වැහි බිංදු වැටුනාවේ
මාව තව තෙමුනාවේ
මම එනව ඔබ එක්ක
රැගෙන මා හමන්න
මගෙ නොවෙයි ජීවිතය
ඔබට මම ණය ගැතිය
ඔබ කැමති ඉවුරකට
මා රැගෙන ඉගිලෙන්න
මල් අතර පරවෙන්න
ඉරණමෙන් මට දුන්න
වරම ඔබ අරගන්න
මා රැගෙන ඔබ යන්න

Monday, July 29, 2013

හොඳ නරක

හොඳ හෝ නරක යැයි මිනිසුන් යැයි කොටසක් නැත.
ඇත්තේ මෙම පරිමාණයේ අන්ත දෙක අතර කොතනක හෝ රැදී ඇති මිනිසුන් පමනි. අන්තය දක්වා ගමන් කිරීම දුෂ්කරය, වෙහෙසකරය. එය අන්ත දෙකටම එකසේ අදාල වේ. හොඳෙහි අන්තය නිවන ලෙසද, නරකෙහි අන්තය රාග, ද්වේෂ සහ මෝහ අකුසල මූල වලින් අන්තයට යාම ලෙසද දැක්විය හැක. මනුෂ්‍යයෙකු උත්සාහ ගත අයහපත් අන්තයෙන් දුරස් වී යහපත් අන්තයට ලං වීමටයි.
එහෙත් එය මතුපිටින් පෙනෙන පහසු ගමනක් නොවේ
එය අපහසුය
එයට කල හැකි දේවල් ගොඩක් නැත.
ඇත්තේ එක ක්‍රියාවලියකි
එනම්, හිත හදා ගැනීමයි.
වෙන කිසිවකින් හොඳ විය නොහැක. කිසිසේත්ම නොහැක

Tuesday, June 25, 2013

රඟපෑම හොඳ දෙයකි

රඟපෑම හොඳ දෙයකි. මක් නිසාද, හොඳ නිර්මාණයක දක්ෂ ලෙස රඟපෑමෙන් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් වන බැවිනි. නිර්මාන කරුවකු තම නිර්මානය සාර්ථක කර ගැනීම සඳහා දක්ෂ රංගන ශිල්පීන් යොද ගන්නේ මේ නිසාය.
එහෙත් නිර්මාන ශිල්පීන් සැබෑ ජීවිතයේදීද රඟ පාන්නට යාම, අණුවන කමකි. එයින් ඔහුගේ හෝ ඇයගේ සැබෑ ප්‍රතිරූපය සමාජය ඉදිරියේ විදාරණය වන බැවිනි.
මුහුණු පොත මතද බොහෝ නලුවෝද නිලියෝද සිටිති, රඟ පාති,වෙස් මුහුණු යොදාගෙන රඟපන්නෝද එසේ මුහුණු නොමැතිව රඟ පාන්නෝද සිටිති. සියලු දනෝ ජීවිත කෙළි මඩලේ රඟන නලුවෝ වැනි යැයි ෂේක්ශ්පියර් කී බව මා අසා ඇත. එහෙත් සැබෑ ජීවිතය සඟවා, මුහුණු දමාගෙන රඟන හොරුන් පිළිඹදව සැලකිලිමත් වීමද හෙලා දැකීමද අවශ්‍යය. මක් නිසාද, නළුවන් සමග රගන්නට කාලය කා දැමීමට වඩා සැබෑ නලුවන් රගන නිර්මානයක් බැලීම උතුම් යැයි මම සිත්න නිසාය.

දුකනම් කිමැයි පවසනු මට සිනහ නගා

ජීවිතයේ බොහෝ දුක් කම් කටොලු පිරී තිබුනද, විටෙක ආපසු හැරී බලන විට දුකම කොතරම් මිහිරිදැයි සිතේ. දුකෙන් පිරි ජීවිතය, පෙණ පිඩු නගා, දිය ඇලි සදා, ගල් පර මතින් බැස නෙත් සිත් වශී කරමින් ගලා යන ගංඟාවක් වැනිය.කිසිදු විටෙක දුකින් තෙත් නොවුනු ඇස් කුමකටද?
කොතරම් දුක් පැමිණියද සියල්ල සිනහවෙන් යටපත් කර ගෙවන ජීවිත් කොයි තරම් සුන්දරද? ඒ සඳහා කොයි තරම් ශක්තියක් මට තිබේදැයි නොදනිමි....
එහෙත් එසේ කිරීමට මම බොහෝ විට උත්සාහ කරමි

Friday, April 26, 2013

ගස ඇහැළයි කියන්නී


සුළං හමන ලතාවටයි අතු ඉති නැමුනේ
හිමිදිරියේ සුබාවටයි දළු කොළ දිලුනේ
ගහේම වාසනාවටයි මල් වැල් ඇදුනේ
මගේම වාසනාවටයි නුඹ මට පෙනුනේ

මල් බරවී තිබෙන්නී
සුලඟට මල් නටන්නී
නෙත් සතුටින් පුරන්නී
ගස ඇහැළයි කියන්නී

නෙත් සතුටින් පුරන්නී
සුවඳින් මත් කරන්නී
තාලෙට පෙති සල්ලනී
විදු මව් හැඩ කරන්නී

කැළණිය විශ්ව විද්‍යාලයේ, ශිෂ්‍ය මධ්‍යස්ථානය මැද පිහිටි ඇහැළ ගස....
කලකදී කොළයක්ද නැතිව හිස් අහසට අතු විහිදා හිඳින ඇය, වරෙක ලා දළු නගා විළියෙන් බිම බලා හිනැහේ, මෙසේ මලින් බරවී හිනැහෙන ඇයම, පරිනත කොළද සහිතව කරලින් බරවී තිබෙයි.
විශ්ව විද්‍යාලයට ඈතින් පෙනෙන කඳු පන්ති, මෑතින් ගලන ගංඟා, මල් වතු, ජලාශ ආදී මිහිරි පරිසර නිමැවුම්  අවට නැති වුවද, විටෙක මලින් බර වන, විටක අව්වේ වේලෙන මෙවැනි මල් බර ගස් ශිෂ්‍ය පරපුරට ජීවිතය කියා දෙන නිහඬ කවියක් බඳු යැයි මට සිතේ

Sunday, April 21, 2013

සෙනෙහස



මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ පෙමතො ජායතී සොකො කියන නට්‍යයේ උද්දාල බමුණා මෙහෙම කියනවා,

"ශිෂ්‍යයෝ මට කරති බුහුමන්
භක්ති ප්‍රේමය ඇත ඔවුන් තුළ
මා කෙරේ මතු නොවේ එලෙසට
ශිල්ප ශාස්ත්‍රය වෙතද දක්වති
ඊට අධිකව භක්ති ප්‍රේමය
භක්ති ප්‍රේමය, ගෞරවය හෝ
කුමක් කීවද ඒ එකක්වත් 
නොවේ සෙනෙහස
ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක්වත් නොවේ සෙනෙහස
දිවා රෑ දෙක හද සමීපේ 
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස
නොලැබ පරිභව මුත් කිසිත් අන්
මොළොක් තෙපුලක් ලබා ගැන්මට
ජීවිතය තිබෙන තුරු
මුහුණ මත ඇස් රඳා ඉන්නා 
දෙයකි සෙනෙහස"

ප්‍රේමය පිළිබඳව ලියවුනු මෙම අගනා පබැදුම සදාකාලෙටම පොදු වූ කරුණක් ගැබ් වෙලා තියනවා. මේ වගේ නිර්මාණ වර්තමානයේ අපිට දකින්න නොලැබීම කනගාටුවට කරුණක්. ඒ උනත් මෙම නාට්‍ය කෘති තවමත් අප අතර පැවතීම සතුටු විය හැකි කාරණයක්

ගඟ හා ඔබ




ගඟක් මුහුදක් කරා නොගොස්
කොහේ යන්නද?
සැඩ පරුෂ ගං දිය මුහුදට එක් වන විට
කොයි තරම් නිසංසලද?
දිය ඇලි සාදමින්
පෙණ කැටි නගමින්
අඟර, දඟර කෙළි කවට සිනා නගමින්
ගමන් කල ගඟමද මේ?
මුහුදට එක් වන විට සිල් ගත්තා වගේ
විටෙක තරහින්ද......විටෙක සතුටින්ද
හඬා වැටෙමින්ද......සිනා නගමින්ද
ලතවෙමින්.....කැලතෙමින්
හෙමි හෙමින්......වේගයෙන්
ගඟ දිය......දහසක් චරිත මවා
මුහුද හා එක්වී මුහුදම වෙයි....
මමද...එසේ ඔබ හා එක්වී ඔබම වෙමි

Friday, April 19, 2013

මරණය සහ හිස නැමීම

මරණය සහ හිස නැමීම
ඉක්බිති සියල්ලෝම දේහයට අත ගැසූහ
නෑදෑයොද, යහළු මිත්‍රයෝද, අසල්වැසියෝද
නොනෑයෝද,තරහ කාරයෝද, දුරින් ආ වැසියෝද මේ අතර දුලබ නොවූහ
එහෙත් පුදුමය නම්
මොවුන්ගෙන් බහුතරය..........................ඔහු කිසිදා නොදැන සිටියවුන් වීමයි
ඔහු නැගී සිටින විට ඔහුව පාගා දැමුද, උදව්වක් ඉල්ලන විට ඉවත බැලූද, ඉහලට නගින විට බිමට ඇද දැමූද, ජයග්‍රහණය කල විට  කෝපයද, ඊර්ෂියාවද සඟවාගෙන ව්‍යාජ සිනහවෙන් ඔහුට සුබ පතා නැති විට සරදම්  කල බොහෝ දෙනෙක් මේ අතර වූහ
දේහයට  හිස නැමූ බොහෝ දෙනෙක් ජීවත්ව සිටින විට ඔහුට හිස නොනැමූහ, ඔහු මළ විට හිස නැමූ බොහෝ දෙනෙක් ඔහුට ජීවත්ව සිටි කාලයේ හිස නොනැමූහ.
එහෙත් මරණය විසින් සියල්ලෝම ඔහුගේ දෙපා මුලට ගෙන්වා ඔහුගේ කුණු වූ සිරුර කර මතින් හිස මතින් ගෙන යාමට සැලැස්වූහ
දෙවියන් ඔහුව ඔසවා තමා වෙතට ගෙන්වා ගත් අතර, දෙවියන් ඔහුට හිස නමා ආචාර කල සේක


Wednesday, April 17, 2013

WE LOVE EACH OTHER SO MUCH

We want to separate
Go far away from each other
Bonds between us 
Envelop us together
Tightly.....Closely......Strongly.......
I need to leave you
I know....You want to leave me
But.....
Many thing bound us together...
You struggle to leave....
I struggle to leave......
There is no one to stop.....There is nothing to stop us
But we still stick together
Colour.....Race.....Language...... Religion.....
Mean nothing to us
We can not leave.......Although we need it
Because
Once......WE LOVE EACH OTHER SO MUCH..............

Tuesday, April 16, 2013

සියලු සංස්කාරයෝ නැසෙන සුළුය



බලාපොරොත්තු වූ දේ නොලැබීම දුකකි
හිමිව තිබූ බලාපොරොත්තුවක්
අහිමි වීම
දරාගත නොහැකි දුකකි
"සියලු සංස්කාරයෝ නැසෙන සුළුය"
එබැවින්..........
දරා ගත නොහැකි බලාපොරොත්තු ඇතිකර ගැනීම
දුකකි......සැමටම වඩා දුකකි

People & Happiness

People & Happiness


People in this world think everything they earn will make them happy. 
People think earn more and more.....create more happiness
People go picnic, for movies, parties, festivals
People sing, dance, do lot of things to achieve happiness
People never believe that their happiness can gain without money
People......People......People......People........
Where is this happiness
People..... try to seek your mind
Then you will see the HAPPINESS

අවුරුද්දක් අවිත් ගියා


අවුරුද්දට හැමෝම භෞතික වශයෙන් සෑහෙන්න අලුත් වෙනව. ගෙවල් දොරවල්ද, අදුම් පැළදුම්ද හැම දේම අළුත් වෙනවා. ඒත් අපි ටිකකට හිතුවොත් අපි මානසිකව අළුත් උනාද මේ අවුරුද්දෙ කියල?
අපි අවුරුදු කාලෙට කොච්චර අලුත් කෑම බීම වලින් බඩ පුරව ගන්නවද?
අපිට බැයිද මේ අවුරුදු කාලෙට අපේ සිතුවිලි ටිකත් අළුත් කරල, මනස ටිකක් අළුත් කෑම වලින් පුරවන්න. අපි සමරන අවුරුද්ද අර්ථවත් වෙන්නෙ එහෙම කලොත් විතරයි කියලයි මට හිතෙන්නේ. නැත්නම් අපි නිකම්ම නිකන් සංස්කෘතික චාරිත්‍ර ටිකක් පිළිපැදපු හිස් මිනිස්සු විතරයි
එහෙම අයගේ අවුරුද්ද හරියට රතිඤ්ණ්ඤා කරලක් වගේ තමයි. සෑහෙන්න සද්දයක් දාල පිපිරුවට අතුල හිස්.