Sunday, December 1, 2013

ගෙම්බට පේන උදෑසන

උදේ පාන්දරට නැගිට්ටහම මොනවද හිතෙන්නේ. ගෙම්බෙක්ට වගේ නෙමෙයි.... මනුස්සයෙක්ට කොයි තරම් දේවල්නම් තියනවද?
එක එක අයට එක එක දේවල් කලපනා වෙනව. ආගමික භක්තියෙන් ඉන්න අයටනම් උදෑසන කියන්නේ විමුක්ති මාරගය ලබා ගන්න අනුගමනය කරන ක්‍රියාකාරකම් වල යෙදෙන්න (ඒ කියන්නේ මේ භාවනා කරන්න, යෝග ව්‍යායාම සිදු කරන්න ) හොඳ වෙලාවක්. ගොවියෙක්ටනම් ඉතින් පානදර නැගිටල තමන්ගේ වගාවන්ට සාත්තු කරන්න වෙනව. ව්‍යාපාරිකයෙක්ට තමගෙ ව්‍යාපාර වැඩ වලට දවස කොහොමද ගත කරන්නේ කියල ප්ලෑන් කර ගන්න උදෑසන වැදගත් වෙනව. අම්මලට ඉතින් කුස්සියේ වගේම ගෙදරත් ලොකු යුද්ධයක් තියනව උදෙන්ම.වැඩට යන කෙනෙක්ට කර ගන්න දේවල් ගොඩයි, රෙදි මදිනව, නානව, ඇඟ හෝදනව, සපත්තු මදිනව, සාරි අදිනව, ජෙල් ගානව, කොණ්ඩෙ පීරනව, බුස් එකට කෝච්චියට දුවනව, එකී මෙකී නොකී වැඩ මහා ගොඩක් උදේට වෙනව.
මේ හැම දෙයක් දිහා බලාගෙනම ඉර පායන්නෙ එකම විදිහටද කියල මට හිතෙනව.සමහර විට එහෙම පේන්නේ මම අහසෙ ඉන්න ගෙම්බෙක් නිස වෙන්ඩත් ඇති.......
හැමදාම නැගෙනහිරින්............ මිනිස්සු ඉපදෙනව උදේට, මැරෙනව උදේට. ඒත් ඉර නොමැරී හැමදාම පායනව. දවසේ කොයි වේලාව ගත්තත් මිනිස්සුන්ගෙ තියෙන්නෙ විසම්මුතියක්. එකඟ කමක් නෑ. හැමෝම මිනිස්සු ක්‍රියාකාරකමකින් එකම දේ කලත් සිතුවිලි වල එකඟ කමක් නෑ. විවිධාකාර අදහස් මහ ගොඩක් හිතේ තියාගෙන එක විදිහකට වැඩ කරන මිනිස්සු ගොඩක් දැක්කහම පුදුමත් හිතෙනව. හැබැයි මිනිස්සු කොයි විදිහට විවිධාකාර උනත්, සිතුවිලි විවිධාකාර උනත්, ඔවුන් ජීවත් වන පරිසරය හැම විටම ඒකාකාරී විදිහටයි ගෙවෙන්නෙ. නැගෙනහිරින් ඉර පායල බටහිරින් බැහැල යනව, අව්ව වැස්ස සුළග මේවා වෙනස් වෙන්නෙ එකම රටාවකට.
එහෙනම් මේ උදෑසන ලස්සනයි කියන්නෙ කවුරු නිසාද. මම වගේ ගෙම්බෙක්ටනම් හැම දේම හැම වෙලේම ලස්සනයි ලස්සනයි. ඒත් මිනිස්සුන්ට එහෙම නෑ. එහෙම හිතන්න බෑ
මිනිස්සු ලස්සනයි කියන දෙවල් වල තියන ලස්සන සාපේෂයි. ඒ ලස්සන ඇති වෙන්න මිනිස්සුන්ගේ හිත්වල. ඒ සාපේක්ෂ ලස්සන අනුවයි මිනිස්සු කියන්නේ උදෑසන ලස්සනයි කියලා. එක එක කෙනාට උදේ උණත් ලස්සන වෙන්නේ එක එක විදිහටනේ.
විවිධාකාර සිතුවිලි (හොඳ නරක, ධෛරයමත්, පරාජිත, මෝඩ, කුහක, තරහ, වැඩදායී, කරුණාබර, උපෙක්ෂාසහගත, විපලවාදී වගේ තව දහස්ගානක් සිතුවිලි ) හිතේ තියාගෙන මිනිස්සු විවිධ අරමුණු තකා උදේ ඉදන් රෑ වෙනකම් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනව. 
අරමුණ සමහර විට, මුදල් සෙවීම වගේ දේකට ලඝු කරන්නත් පුළුවන්. සමහර විට අරමුණ ඊලග ඡන්දෙ, විභාගයක්, දරුවන්නට කෑම ටිකක්, ගෙයක් දොරක් හදා ගැනීම, බඩු ටික හොඳ මිලකට විකිණීම, කෙල්ලත් එක්ක දවසම ආදරෙන් වෙලිල ඉන්න එක, කොහොම හරි අවශ්‍ය මිනිහව මරා ගන්න එක, හොරකම් කරල හරි ගංජා සුරුට්ටුවක් ගැහීම, ලෙඩට බේත් ටිකක් ගැනීම, කුඹුරෙ ගොයම් ටික අදම කපල ඉවර කරන එක,දහසක් දෙවල්...දහසක් සිතුවිලි.....කෙනාගෙන් කෙනාට රැකියාවෙන් රැකියාවට, රටෙන් රටට, ආගමෙන් ආගමට, වයසෙන් වයසට.... අපොයි කොයි තරම් නම් දෙවල් ගොඩක්ද මේ උදේට මිනිස්සුන්ගෙ හිත් වල තියෙන්න. මේ සිතුවිලි ලස්සනද කැතද හොඳද නරකද කියල කියන්න බෑ. මටනම් බෑ.... මොකද ඒවගේ ලස්සන හරි හොඳ හරි තියෙන්නෙ ඒ ඒ කෙනාට අනුව. මිනිහෙක් මරන එක නරක උනාට, සමහර විට කන්න බොන්න ජීවත් වෙන්න මිනිහෙක්ට මරන චේතනාව ලස්සන අරමුනක් කර ගන්න වෙනව වෙන්න පුළුවන්
කොහොම උනත් මිනිස්සු අඩු වැඩි විදිහට ඔය කියපු දහසක් අරමුණු ඉටු කර ගනී. ඊට පස්සේ හෙටත් උදෑසනක් ඒවි.
ඒත් ඒ උදෑසන වෙනස්, වෙනස් වෙන්නේ අපි නිසා, මිනිස්සු නිසා, මිනිස්සුන්ගේ සිතුවිලි නිසා.





Saturday, November 30, 2013

වෙන්වීම


මේ කතාව පටන් අරගත්තෙත් නෑ, ඉවර උනෙත් නෑ. මේක කතාවක ආරම්භයක් හෝ අවසානයක් නෙමෙයි කියන්නත් බෑ.
...................................................
ඒ හමුවීම කිසිම හැගීමක් දැනීමක් තිබුන දෙයක් කියල හිතෙන්නෙ නෑ.අපි ඔහේ බලන් හිටියා මිසක් කාටවත් කතා කරන්න උවමනාවක් තිබ්බේ නෑ. ඈතින් පේන්න තිබ්බේ කොනක් නොපෙනෙන මහා සාගරේ විතරයි. අපිත් හරියට ඈතින් පේන ක්ෂිතිජය වගේ, ලඟින් හිටියට කවදාවත් එක් නොවෙන අහසයි පොළවයි වගේ. ඉතින් මට ඇහුනෙ මුහුදෙ මහා රළ බිඳෙන හඬයි, අපි හුස්ම ගන්න සද්දෙයි විතරයි. සමහර විට මුහුදෙ තිබ්බ සද්දෙටත් වැඩිය වරින් වර නැගෙන සුසුම් වල සද්දෙ වැඩි වුනා. ඒත් වචනයක් කතා කරන්න ශක්තියක් අපිට තිබුනෙම නෑ.
'අපි යමු'
අපි හෙමින් නැගිටල ඇවිදගෙන ආව.හෙමින් අපේ ඇඟිලි එක්කට එකතු වෙනව, අපි දෙන්නගෙන් කාටවත් ඕන උනේ නෑ වෙනද වගේ තදින් අල්ල ගන්න. අන්තිමට අපි අපි දිහා බලන් උන්නා. ඇස් වල යාන්තම් බොඳ වේගන ආවත් ඒවට නිදහසේ ගලා යන්නවත් ලෝකයෙන් ඉඩක් නෑ. කඳුළුත් නොහෙලම අපි වෙන් උනා. මම තාමත් එතනට එනවා. මුහුද තාමත් වෙනද සද්දෙන්ම වෙරලෙ හැප්පෙනව.
.....................................................

Wednesday, October 16, 2013

බඹර සිතුවිලි

දුටු නමුත් නුඹ පිපී 
දිලෙන බව මල් අතර
සිපගන්න තාමත්
බයයි මම කුමරියේ
බඹර තුඩු විස පිරුන
නුඹේ ඔය පෙති වලට
බර වැඩියි තාමත්
මගේ මල් කුමරියේ
එහෙත් මම පමණක්ද
නුඹ දුටුවේ කුමරියේ
සිප ගන්න තාමත්
මට බයයි කුමරියේ
දුරින් හිඳ බියපතව
සැලි සැලී හිඳින්නම්
වෙනත් කෙනෙකුට නුඹේ
බහ නොදෙන් කුමරියේ
නොහැකිනම් හිඳින්ට 
මා සමග කුමරියේ
ඔබ සමග මටද මුකුලිත වන්න
නුඹේ ඔය පෙති අතර
ඉඩක් දෙනු කුමරියේ

Saturday, September 28, 2013

වැහි වලාකුල
බිම බලාගෙන 
හැමදාම හඬන
අඳුරු තිර කඩින්
මා ගතට සුව ගෙනෙන
ආයෙත් බිම බලාන
ගොරවන

හඬ දෙන
කඳුලින් මා තෙත් වනතෙක්
හඬා වැටෙන
හිරු නැගෙන විට
කඳුලු පිසදා සැඟවෙන
ඔබ

Thursday, September 12, 2013

ලංව අපි


නෙතට නෙත
ආදරේ නොකියාම

ලංව අපි
බලන් ඉමු හැමදාම
කිසිදාක
නොපවසමු
ආදරෙයි හැමදාම
ඉරත් නැග බැස ගොසින්
හඳ නැග බැස ගොසින්
දිනෙන් දින ගතව අපි බොහෝ දුර
පැමින ඇත
එහෙත් ඔබ මා වෙතම
මගෙ නෙත්ද ඔබ වෙතම

Thursday, August 29, 2013

ඔබ

වෙහෙස දැනෙයි
මග දිගට
හැරී බලමි හැම විටම
ඉවත නොයා
කිසි විටක
ඔබ ඇත 
සිතුවිලි අතර

වැටෙන විටදි හිනැහී අත් දිගු කරනා
නෙතට උනන කඳුළු සෙමෙන් පිස දමනා
දැවෙන සිතට මද සුළඟක් මුසු කරනා
ඉවත නොයා මගෙ තනියට ලඟ හිදිනා

Monday, August 5, 2013

සුලඟ සහ මල

සුලං රැල් හමන්න
රැගෙන මා තව දුරට
වෙලෙමින් ඔබ සමග
මමද යමි තව දුරට
වැහි බිංදු වැටුනාවේ
මාව තව තෙමුනාවේ
මම එනව ඔබ එක්ක
රැගෙන මා හමන්න
මගෙ නොවෙයි ජීවිතය
ඔබට මම ණය ගැතිය
ඔබ කැමති ඉවුරකට
මා රැගෙන ඉගිලෙන්න
මල් අතර පරවෙන්න
ඉරණමෙන් මට දුන්න
වරම ඔබ අරගන්න
මා රැගෙන ඔබ යන්න

Monday, July 29, 2013

හොඳ නරක

හොඳ හෝ නරක යැයි මිනිසුන් යැයි කොටසක් නැත.
ඇත්තේ මෙම පරිමාණයේ අන්ත දෙක අතර කොතනක හෝ රැදී ඇති මිනිසුන් පමනි. අන්තය දක්වා ගමන් කිරීම දුෂ්කරය, වෙහෙසකරය. එය අන්ත දෙකටම එකසේ අදාල වේ. හොඳෙහි අන්තය නිවන ලෙසද, නරකෙහි අන්තය රාග, ද්වේෂ සහ මෝහ අකුසල මූල වලින් අන්තයට යාම ලෙසද දැක්විය හැක. මනුෂ්‍යයෙකු උත්සාහ ගත අයහපත් අන්තයෙන් දුරස් වී යහපත් අන්තයට ලං වීමටයි.
එහෙත් එය මතුපිටින් පෙනෙන පහසු ගමනක් නොවේ
එය අපහසුය
එයට කල හැකි දේවල් ගොඩක් නැත.
ඇත්තේ එක ක්‍රියාවලියකි
එනම්, හිත හදා ගැනීමයි.
වෙන කිසිවකින් හොඳ විය නොහැක. කිසිසේත්ම නොහැක

Tuesday, June 25, 2013

රඟපෑම හොඳ දෙයකි

රඟපෑම හොඳ දෙයකි. මක් නිසාද, හොඳ නිර්මාණයක දක්ෂ ලෙස රඟපෑමෙන් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් වන බැවිනි. නිර්මාන කරුවකු තම නිර්මානය සාර්ථක කර ගැනීම සඳහා දක්ෂ රංගන ශිල්පීන් යොද ගන්නේ මේ නිසාය.
එහෙත් නිර්මාන ශිල්පීන් සැබෑ ජීවිතයේදීද රඟ පාන්නට යාම, අණුවන කමකි. එයින් ඔහුගේ හෝ ඇයගේ සැබෑ ප්‍රතිරූපය සමාජය ඉදිරියේ විදාරණය වන බැවිනි.
මුහුණු පොත මතද බොහෝ නලුවෝද නිලියෝද සිටිති, රඟ පාති,වෙස් මුහුණු යොදාගෙන රඟපන්නෝද එසේ මුහුණු නොමැතිව රඟ පාන්නෝද සිටිති. සියලු දනෝ ජීවිත කෙළි මඩලේ රඟන නලුවෝ වැනි යැයි ෂේක්ශ්පියර් කී බව මා අසා ඇත. එහෙත් සැබෑ ජීවිතය සඟවා, මුහුණු දමාගෙන රඟන හොරුන් පිළිඹදව සැලකිලිමත් වීමද හෙලා දැකීමද අවශ්‍යය. මක් නිසාද, නළුවන් සමග රගන්නට කාලය කා දැමීමට වඩා සැබෑ නලුවන් රගන නිර්මානයක් බැලීම උතුම් යැයි මම සිත්න නිසාය.

දුකනම් කිමැයි පවසනු මට සිනහ නගා

ජීවිතයේ බොහෝ දුක් කම් කටොලු පිරී තිබුනද, විටෙක ආපසු හැරී බලන විට දුකම කොතරම් මිහිරිදැයි සිතේ. දුකෙන් පිරි ජීවිතය, පෙණ පිඩු නගා, දිය ඇලි සදා, ගල් පර මතින් බැස නෙත් සිත් වශී කරමින් ගලා යන ගංඟාවක් වැනිය.කිසිදු විටෙක දුකින් තෙත් නොවුනු ඇස් කුමකටද?
කොතරම් දුක් පැමිණියද සියල්ල සිනහවෙන් යටපත් කර ගෙවන ජීවිත් කොයි තරම් සුන්දරද? ඒ සඳහා කොයි තරම් ශක්තියක් මට තිබේදැයි නොදනිමි....
එහෙත් එසේ කිරීමට මම බොහෝ විට උත්සාහ කරමි