Wednesday, October 16, 2013

බඹර සිතුවිලි

දුටු නමුත් නුඹ පිපී 
දිලෙන බව මල් අතර
සිපගන්න තාමත්
බයයි මම කුමරියේ
බඹර තුඩු විස පිරුන
නුඹේ ඔය පෙති වලට
බර වැඩියි තාමත්
මගේ මල් කුමරියේ
එහෙත් මම පමණක්ද
නුඹ දුටුවේ කුමරියේ
සිප ගන්න තාමත්
මට බයයි කුමරියේ
දුරින් හිඳ බියපතව
සැලි සැලී හිඳින්නම්
වෙනත් කෙනෙකුට නුඹේ
බහ නොදෙන් කුමරියේ
නොහැකිනම් හිඳින්ට 
මා සමග කුමරියේ
ඔබ සමග මටද මුකුලිත වන්න
නුඹේ ඔය පෙති අතර
ඉඩක් දෙනු කුමරියේ

Saturday, September 28, 2013

වැහි වලාකුල
බිම බලාගෙන 
හැමදාම හඬන
අඳුරු තිර කඩින්
මා ගතට සුව ගෙනෙන
ආයෙත් බිම බලාන
ගොරවන

හඬ දෙන
කඳුලින් මා තෙත් වනතෙක්
හඬා වැටෙන
හිරු නැගෙන විට
කඳුලු පිසදා සැඟවෙන
ඔබ

Thursday, September 12, 2013

ලංව අපි


නෙතට නෙත
ආදරේ නොකියාම

ලංව අපි
බලන් ඉමු හැමදාම
කිසිදාක
නොපවසමු
ආදරෙයි හැමදාම
ඉරත් නැග බැස ගොසින්
හඳ නැග බැස ගොසින්
දිනෙන් දින ගතව අපි බොහෝ දුර
පැමින ඇත
එහෙත් ඔබ මා වෙතම
මගෙ නෙත්ද ඔබ වෙතම

Thursday, August 29, 2013

ඔබ

වෙහෙස දැනෙයි
මග දිගට
හැරී බලමි හැම විටම
ඉවත නොයා
කිසි විටක
ඔබ ඇත 
සිතුවිලි අතර

වැටෙන විටදි හිනැහී අත් දිගු කරනා
නෙතට උනන කඳුළු සෙමෙන් පිස දමනා
දැවෙන සිතට මද සුළඟක් මුසු කරනා
ඉවත නොයා මගෙ තනියට ලඟ හිදිනා

Monday, August 5, 2013

සුලඟ සහ මල

සුලං රැල් හමන්න
රැගෙන මා තව දුරට
වෙලෙමින් ඔබ සමග
මමද යමි තව දුරට
වැහි බිංදු වැටුනාවේ
මාව තව තෙමුනාවේ
මම එනව ඔබ එක්ක
රැගෙන මා හමන්න
මගෙ නොවෙයි ජීවිතය
ඔබට මම ණය ගැතිය
ඔබ කැමති ඉවුරකට
මා රැගෙන ඉගිලෙන්න
මල් අතර පරවෙන්න
ඉරණමෙන් මට දුන්න
වරම ඔබ අරගන්න
මා රැගෙන ඔබ යන්න

Monday, July 29, 2013

හොඳ නරක

හොඳ හෝ නරක යැයි මිනිසුන් යැයි කොටසක් නැත.
ඇත්තේ මෙම පරිමාණයේ අන්ත දෙක අතර කොතනක හෝ රැදී ඇති මිනිසුන් පමනි. අන්තය දක්වා ගමන් කිරීම දුෂ්කරය, වෙහෙසකරය. එය අන්ත දෙකටම එකසේ අදාල වේ. හොඳෙහි අන්තය නිවන ලෙසද, නරකෙහි අන්තය රාග, ද්වේෂ සහ මෝහ අකුසල මූල වලින් අන්තයට යාම ලෙසද දැක්විය හැක. මනුෂ්‍යයෙකු උත්සාහ ගත අයහපත් අන්තයෙන් දුරස් වී යහපත් අන්තයට ලං වීමටයි.
එහෙත් එය මතුපිටින් පෙනෙන පහසු ගමනක් නොවේ
එය අපහසුය
එයට කල හැකි දේවල් ගොඩක් නැත.
ඇත්තේ එක ක්‍රියාවලියකි
එනම්, හිත හදා ගැනීමයි.
වෙන කිසිවකින් හොඳ විය නොහැක. කිසිසේත්ම නොහැක

Tuesday, June 25, 2013

රඟපෑම හොඳ දෙයකි

රඟපෑම හොඳ දෙයකි. මක් නිසාද, හොඳ නිර්මාණයක දක්ෂ ලෙස රඟපෑමෙන් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් වන බැවිනි. නිර්මාන කරුවකු තම නිර්මානය සාර්ථක කර ගැනීම සඳහා දක්ෂ රංගන ශිල්පීන් යොද ගන්නේ මේ නිසාය.
එහෙත් නිර්මාන ශිල්පීන් සැබෑ ජීවිතයේදීද රඟ පාන්නට යාම, අණුවන කමකි. එයින් ඔහුගේ හෝ ඇයගේ සැබෑ ප්‍රතිරූපය සමාජය ඉදිරියේ විදාරණය වන බැවිනි.
මුහුණු පොත මතද බොහෝ නලුවෝද නිලියෝද සිටිති, රඟ පාති,වෙස් මුහුණු යොදාගෙන රඟපන්නෝද එසේ මුහුණු නොමැතිව රඟ පාන්නෝද සිටිති. සියලු දනෝ ජීවිත කෙළි මඩලේ රඟන නලුවෝ වැනි යැයි ෂේක්ශ්පියර් කී බව මා අසා ඇත. එහෙත් සැබෑ ජීවිතය සඟවා, මුහුණු දමාගෙන රඟන හොරුන් පිළිඹදව සැලකිලිමත් වීමද හෙලා දැකීමද අවශ්‍යය. මක් නිසාද, නළුවන් සමග රගන්නට කාලය කා දැමීමට වඩා සැබෑ නලුවන් රගන නිර්මානයක් බැලීම උතුම් යැයි මම සිත්න නිසාය.

දුකනම් කිමැයි පවසනු මට සිනහ නගා

ජීවිතයේ බොහෝ දුක් කම් කටොලු පිරී තිබුනද, විටෙක ආපසු හැරී බලන විට දුකම කොතරම් මිහිරිදැයි සිතේ. දුකෙන් පිරි ජීවිතය, පෙණ පිඩු නගා, දිය ඇලි සදා, ගල් පර මතින් බැස නෙත් සිත් වශී කරමින් ගලා යන ගංඟාවක් වැනිය.කිසිදු විටෙක දුකින් තෙත් නොවුනු ඇස් කුමකටද?
කොතරම් දුක් පැමිණියද සියල්ල සිනහවෙන් යටපත් කර ගෙවන ජීවිත් කොයි තරම් සුන්දරද? ඒ සඳහා කොයි තරම් ශක්තියක් මට තිබේදැයි නොදනිමි....
එහෙත් එසේ කිරීමට මම බොහෝ විට උත්සාහ කරමි

Friday, April 26, 2013

ගස ඇහැළයි කියන්නී


සුළං හමන ලතාවටයි අතු ඉති නැමුනේ
හිමිදිරියේ සුබාවටයි දළු කොළ දිලුනේ
ගහේම වාසනාවටයි මල් වැල් ඇදුනේ
මගේම වාසනාවටයි නුඹ මට පෙනුනේ

මල් බරවී තිබෙන්නී
සුලඟට මල් නටන්නී
නෙත් සතුටින් පුරන්නී
ගස ඇහැළයි කියන්නී

නෙත් සතුටින් පුරන්නී
සුවඳින් මත් කරන්නී
තාලෙට පෙති සල්ලනී
විදු මව් හැඩ කරන්නී

කැළණිය විශ්ව විද්‍යාලයේ, ශිෂ්‍ය මධ්‍යස්ථානය මැද පිහිටි ඇහැළ ගස....
කලකදී කොළයක්ද නැතිව හිස් අහසට අතු විහිදා හිඳින ඇය, වරෙක ලා දළු නගා විළියෙන් බිම බලා හිනැහේ, මෙසේ මලින් බරවී හිනැහෙන ඇයම, පරිනත කොළද සහිතව කරලින් බරවී තිබෙයි.
විශ්ව විද්‍යාලයට ඈතින් පෙනෙන කඳු පන්ති, මෑතින් ගලන ගංඟා, මල් වතු, ජලාශ ආදී මිහිරි පරිසර නිමැවුම්  අවට නැති වුවද, විටෙක මලින් බර වන, විටක අව්වේ වේලෙන මෙවැනි මල් බර ගස් ශිෂ්‍ය පරපුරට ජීවිතය කියා දෙන නිහඬ කවියක් බඳු යැයි මට සිතේ

Sunday, April 21, 2013

සෙනෙහස



මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ පෙමතො ජායතී සොකො කියන නට්‍යයේ උද්දාල බමුණා මෙහෙම කියනවා,

"ශිෂ්‍යයෝ මට කරති බුහුමන්
භක්ති ප්‍රේමය ඇත ඔවුන් තුළ
මා කෙරේ මතු නොවේ එලෙසට
ශිල්ප ශාස්ත්‍රය වෙතද දක්වති
ඊට අධිකව භක්ති ප්‍රේමය
භක්ති ප්‍රේමය, ගෞරවය හෝ
කුමක් කීවද ඒ එකක්වත් 
නොවේ සෙනෙහස
ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක්වත් නොවේ සෙනෙහස
දිවා රෑ දෙක හද සමීපේ 
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස
නොලැබ පරිභව මුත් කිසිත් අන්
මොළොක් තෙපුලක් ලබා ගැන්මට
ජීවිතය තිබෙන තුරු
මුහුණ මත ඇස් රඳා ඉන්නා 
දෙයකි සෙනෙහස"

ප්‍රේමය පිළිබඳව ලියවුනු මෙම අගනා පබැදුම සදාකාලෙටම පොදු වූ කරුණක් ගැබ් වෙලා තියනවා. මේ වගේ නිර්මාණ වර්තමානයේ අපිට දකින්න නොලැබීම කනගාටුවට කරුණක්. ඒ උනත් මෙම නාට්‍ය කෘති තවමත් අප අතර පැවතීම සතුටු විය හැකි කාරණයක්