Friday, February 21, 2014

මකා දමා නික්ම යන්න

තැබූ සියලු පා සටහන්
සිතුවිලි වැලි තලාවේ
මකා දමා නික්ම යන්න
මගේ ලෝකයෙන්

ඈත එපිට ක්ෂිතිජ ඉමේ
හිරු මුහුදේ ගිලී ගොසින්
අඳුරට ඉඩදී මිය යන
හැන්දෑවේ

මෑත සුමුදු වෙරළ කොනේ
රළ පිට රළ මතුව ඇවිත්
සියලු සිහින මකා දමන
හැන්දෑවේ

හිරුත් සමග අදුරෙ වෙලී
මම තනිවම මිය යන්නම්
රළත් සමග දියෙහි ගිලී
මම මතකෙන් දුරු වෙන්නම්

හෙමෙන් හෙමින් පා ඔසවා
මතකය අරගෙන ඔබගේ
නිකම යන්න මා තනිකර
ඔබ පතනා හෙට දවසට

Tuesday, February 18, 2014

ප්‍රථම ප්‍රේමය

සිහිනෙකට
ඇවිත් නුඹ
හෙමින් සක්මන් කරයි
මගේ සිතුවිලි අතර
එහෙත් මගෙ හිත කොනක
නතර වී එක තැනක
බලා හිඳිනා ප්‍රථම
ආදරේ ඔබ නොවෙයි

අතීතේ යම් දිනෙක
නාඳුනන මලකට
පෙම් කලෙමි රහසින්ම
ලොවටත් ඔබටත් රහසින්ම
අයිති නොවනා වගත්
නොලැබෙනා මුත් ආදරය බිඳක් වත්
දැන දැනම
පෙම් කලෙමි
සුවඳ විඳිමින් මම
ලස්සන මලකට

පිය නඟා ඔබ හෙමින් ඇවිත් මඟෙ සිහිනයට
ඉවත යන්නට කියයි මගෙ ප්‍රථම ප්‍රේමයට
එහෙත් මුල් ඇදී නැඟි මහ වන්ස්පතියෙක් ලෙසට
ප්‍රථම ආලය හිඳී හිත් කොනක සදහටම

Friday, February 14, 2014

මටම අහිමි සෙනෙහෙ වැස්ස

හිරු අවුලයි දස දෙසම
වෙහෙස දැනෙයි මග දිගට
හැරී බලමි මම නැවත
ඔබ ඇත සිතිවිලි අතර

වෙහෙස දැනී ගිමන් හරින
ගිනියම් වූ විරාමයක
මද පවනක් විලස පැමිණ
නිවා දමයි මගේ වෙහෙස

පවස දැනී දැවෙන විටෙක
දිය පොදකුත් අසල නොමැත
මහා අසනි වැස්ස විලස
ඔබ පැමිණෙයි මගේ සිතට

තනිකම විත් වෙලෙනා විට
දහසක් මනු සත් කැල මැද
ඔබ ඇවිදින් මගේ ලගට
වෙලා ගනියි මා රහසෙම

ගිමන් නිවන සුළන් රැල්ල
පවස නිවන අසනි වැස්ස
තනිය මකන සිහින වැස්ස
මටම අහිමි සෙනෙහෙ වැස්ස

Saturday, February 8, 2014

සිරිපා කරුණාවේ.... කඳුලක් නැගුනාවේ

යාළු මිත්‍රකම් ජීවිතයකට අවශ්‍ය වටිනා මිනිස් සම්බන්ධතාවක්. සමහර විට අපේ ජීවිත වල ගෙදර අය නොදන්න දේවල් නොකියන දේවල් යාළුවන්ට කියනවා (අනික් අය මම දන්නේ නෑ මටනම් එහෙම තියෙනවා)
ඉතින් මගේ හොඳ යාළුවෙක් එක්ක මම සිරීපාදෙ යන්න හිටියා. ඒත් යාළුවා සිරීපදේ ගියා, මට යන්න බැරි වුනා. මට මේ ගැන හරිම කනගාටුවක් ඇති වුනා. යාළුව එක්ක මම තරහ වුනේ නෑ. මම මේ ගැන හිතන කොට ලොකු කණගාටුවක් ඇති වුනා, ඒ ආව ආවේගෙට මම කවි පංතියක් ලිව්වා.

සැප දුක දෙකේදිම නොහැරම මම උන්නා
නුඹේ දුකට මගෙ දෑසත් තෙත් වෙන්නා
හදවත නැගුනු ගින්දර බෑ වාවන්ටා
සකිසඳ මා අතැර මහගිරි දඹ යන්නා

මගෙන් නොදැනිවත් වරදක් උනාදෝ
පෙර පින් මදිව මා අමතක උනාදෝ
අත්වැල ලිහී මග වැරදී ගියාදෝ
සිරිපා පියුම ලඟ නුඹ තනි වුනාදෝ

කන්ද උඩින් ඉර සිරිපා වඳින කොට
පෙරදිග අහසෙ නැගෙනා සුදු වලා මැද
නෙක පාටින් හැඩ වැඩ කර අහස මත
මගෙ දුක් ගීය බලපන් හිමිදිරියෙ හෙට

තරහක් නැතත් කඳුලක් නෙතඟින් එබුනා
සීතල සුළඟ මැද මට තනිකම දැනුනා
දෑතම එකතු කර ගමනට සුභ පැතවා
නුඹ හා සමඟ කරුණාවට පින් පැතුවා


නැගෙන හිරින් ඉර සේවය කරනවද
සමනලයෝ මුනි සිරිපා වදිනවද
සිහිල් වලා මත තනිකම දැනෙනවද
මා සිහිකර නුඹ සිරිපා වදිනවද

නැගෙනහිරින් ඉර සේවය කරන කොට
සමනල තටු වලින් සිරිපා වැහෙන කොට
පතුලට හිස තබා බුදු පා වදින කොට
මාවත් සිහි කරපන් සකිසඳුනි හෙට

Tuesday, February 4, 2014

කවුද ඡන්දෙ ඉල්ලන්නේ?

දේශපාලනය කරන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියන එක පිළිබ්ඳව කාට උනත් පැහැදිළි අවබෝදයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. මට උනත් එහෙම අවබෝධයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. නමුත් ඕනම ක්ෂේත්‍රයක යෙදෙන්න නම් (සාර්ථකව සහ ඵලදායීව යෙදෙන්න ) ඒ විෂය පිළිබඳව ප්‍රාමාණික දැනීමක් අවශ්‍යයි කියලනම් මම දන්නවා. මේ දැනීම කියන එකෙන් මම අදහස් කළේ පොත් කට පාඩම් කරල ගත්ත උපාධියක් නෙමෙයි, සමහර විට කාලයක් තිස්සේ පොත පත කියවලා, දක්ෂ නමක් දිනා ගත්ත පිරිසක් යටතේ වැඩ කරලා උනත් යම් ක්ෂේත්‍රයක දැනීමක් ලබා ගන්න පුළුවන්. ලංකාවෙ කලා කරුවන් බොහෝම දෙනෙක් ඒ සම්බන්දව ගත්ත උපාධියක් නැති උනත් මම කිව්ව දෙවනි ක්‍රමයෙන් ක්ෂේත්‍රයේ නමක් රදව ගත්ත අය.
මුල් කාලයේදී (මම අදහස් කරන්නේ නිදහස ලබා ගත්ත මුල් කාලේ ) දේශපාලනය කලේ ඒ සම්බන්දව යමක් කමක් දන්න කියන ඉගෙන ගත්ත උගත් පිරිසක්. හැබැයි ඔවුන් කරපු වැරැද්ද තමයි ඒ කාලේ බිහි කරපු උන්ගේ පැටව් ටිකට මේ ශික්ෂණය හරිහැටි කියා නොදුන්න එක. අන්න ඒ වැරැද්ද නිසා ඊට පස්සේ බිහිවුන දේශපාලඥයන් ජනතාවගෙන් බැනුම් අහන, හොඳක් කලත් නරකක් කලත් නරකටම පේන පිරිසක් බවට පත් වුනා. නිදහස් ආර්ථිකයත් එක්ක සල්ලි පස්සෙ දුවන සමාජයේ ලොකුම මැරයො, දූෂිතයෝ, අපරාධ කාරයො, වංචාකාරයො, ස්ත්‍රී දූෂකයෝ,කලු කඩ මුදලාලිලා, පරිසර විනාශයේ පෙරගමන්කරුවො, සංස්කෘතික සෝදාපලුවේ දිය දහරාව වුනේ මේ කියන දේශපාලඥයො තමයි. ඒ විතරක් නෙමෙයි, සත් ගුණවත් දායකයා, පින්වත් උපාසකයා, සුදු රෙදි අඳින චරිතවත් නායකයා, දේශප්‍රේමියා, සංස්කෘතික පරමාදර්ශය, පරිසරයේ ආරකෂක, ජනහිතකාමී නායකයා කියන චරිතයක් හිමි උනේ මේ දේශපාලඥයන්ටම තමයි.
ජනතා පරමාදිපත්‍ය කිව්වට ඒක දැකපු කෙනෙක් ඉන්නවයි කියල මම හිතන්නේ නෑ. ඒත් එකෙන් මේ දේශපාලඥයන් මෙල්ල කර ගන්න පුළුවන් කියල මම හිතනවා. මිනිස්සු මේ දේශපාලඥයන්ගේ හොඳ නරක සේරම දැන ගෙනත් අයෙ අයෙත් එකම හරක් රැළක් පත් කර ගන්නේ අපේ මිනිස්සුගේ සාක්ෂරතාව වැඩි හින්දයි කියලා මම හිතන්නේ.
විවිධ අංශ වලින් වෘත්තීය දකශතා සහිත පුද්ගලයෝ, එම වෘත්තියේ ඉහලටම ගියහම, නැත්නම් නමක් හදා ගත්තාහම දේශපාලනේට එන එක දැන් මෝස්තරයක් වෙලා. මේක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ වෙනත් රටවල් වල උනත් දකින්න හම්බෙන ප්‍රවනතාවයක් වෙලා. මම කියන්නේ නෑ මේක වැරදියි කියලා. මෙහෙම ඇවිත් සාර්ථක දේශපාලන ගමනක් යන මිනිස්සු නැත්තෙමත් නෑ. ඒත් මිනිස්සු මේක දකින විදිහෙ මොකක් හරි අවුලක් තියනවා.
උදාහරණ්යක් විදිහට ලංකාවේ නම ගිය වන්චාකාරයෙක්(පිරිමි කෙනෙක් ) ඡන්දේ ඉල්ලුවා තමන්ගේ උපන් ගමවත් නොවන දිස්ත්‍රික්කෙකින්. මිනිහට දිස්ත්‍රික්කෙන් මුල් තැනක් එක්ක පාර්ලිමේන්තුවටත් ගියා. ඒත් චිත්‍රපට නිලියක් ඡන්දෙට ගියහම එයගේ රඟපෑම් ගැන තමයි මිනිස්සු කතා කරන්නේ. අඩු ගානේ මේකි රඟපාපු චිත්‍රපටියවත් දැකල නෑ, දැකල තියෙන්නේත් පොඩි පොඩි කෑලි ටිකක් විතරයි, අනික රඟ පෑම ගැන කතා කරන්නේ ඡන්දෙට ඉල්ලපු නිසා. රගපාන කාලෙවත් මේ නිළියෝ ගැන කතාකරපු පන්ඩිත් උතුමන්වහන්සේලා ඡන්දෙට ඉල්ලුවහම නිළියන්ගේ රඟ පෑම, ඇඳුම් පැලඳුම්, සම්බන්දතා ගැන කතා කරනවා. මම හිතන්නේ අපි මෙතනදි පහර ගහන්න ඕන ඔවට නෙමෙයි, මම මුලින් කිව්ව වගේ දේශපාලනයේ මොවුන්ගේ තියන් හැදෑරීමේ දිග පළලටයි අපි පහර ගහන්න ඕන. එහෙම නැත්නම් තියෙන අලයක් තම්බගෙන කාල, පෙරසේ ගොඩක් හිනාවෙන මී හරක් රැලක් මේ පාරත් පත් කර ගන්න කතිර 3ක්ම ගහන්න පුළුවන්.

Wednesday, January 29, 2014

මගෙ සෙනෙහස ඔබ

ලඟම සිටින
සිනහ සලන
කතා කරන
සුවඳ විදින
මට හිමි නැති
මගෙ සෙනෙහස
සයුරේ දුර නිසල තැනක
බෙලි කටුවක් තුළ සැඟවුණ
සැපට නිදන මුතු ඇටයක්
කිසිවෙකු හට අයිති නොවුන

Saturday, January 25, 2014

කඩුපුල් මල් කුමාරියේ


 ලක්ෂ්මන් අය්යා මේ කඩුපුල් මලේ රූපය එකේ දාල තිබුනා. අය්යගේ මේ වගේ රූප වලට මම කවියක් දානව කියල අය්යා දන්න නිසා මේ රූපය මට  කරලා තිබුනා. මගේ හිතට එක පාරටම ආව කවි සිතුවිලි ටික තමයි මේ. මේ ටික දානකම් ඉන්න කියලා අය්යට කිව්වහම අය්ය කන්නෙත් නැතුව හිටියා මම කවි ටික දානකම්. යාළුවො කියන්නේ හරිම පුදුම මානව බැදීමක්. කඩුපුල් මල් රහසෙම පිපිලා, සුවඳ දීල, පරවෙලා යනවා. එත් යාළුවො දුරස් වෙනව, ඈත් වෙනවා, තරහ වෙනවා, ඒත් මිතුරු සුවඳ කවදාවත් හිත් වලින් පර නොවී, දුරස් නොවී, සුවඳ දෙනවා, ජීවිතයම සුවඳ කරනවා.






රහසෙම ලොවට කළුවර මැද පිපිලා
සුර ලොව ඇති යහනක සුව මවාලා
ලොව පිබිදෙන විට මල් පෙති හලාලා
මිය යනවද මටවත් හිමි නොවීලා

දවල් සරන බඹරුන්ගේ ගී නාද
නොවීද ඔබහට කිසිකලෙකත් හාද
හිරු දෙවිදුන් ඔබ හට දොස් කිව්වාද
මටත් හොරෙන් ඔබ මුකුලිත වෙනවාද


පිනි වරුසා මැද සොඳසේ පිපෙන්න මල් කුමාරියේ
රැය සරසා සඳ එලියේ දිලෙන්න ඔබ කුමාරියේ
ඇස පිනවා හිත සනසා සුවදෙනු රෑ කුමාරියේ
මගේ මළදා මගේ තනියය පිපෙන්න ඔබ කුමාරියේ


Tuesday, January 14, 2014

ඔබ ගොසින්

තනිකම ඉකි බිදී ලඟ හිද
කඳුලැලි ඉගි මරයි නෙත ලඟ
ඔබ ගොසින් දුරක නොපෙනෙන
ඔබ ගොසින් නොයෙන ගමනක

Tuesday, January 7, 2014

සිනහව කඳුල කුමටද දිවි තිබෙන තුරු

විටෙක දුකින් වැලපෙන විට-සිනහ කැලුම් දළු ලන විට
සිහියට නොනැගේ කිසිවිට-යායුතු දුර තව කොපමන
සසර නිමක් දකිනා තුරු
කඳුලුම උරුමයි අපහට......සිනහව උරුමයි අපහට
නැත කිසිවිට පැන යාමක් ......මේ කිසිවක් හැර යාමක්
හොඳද නරක සිතුවිලි කර පොදි බැදලා
උස් මිටිකම් ඇති නැති කම් හැර දමලා
සිව් රියනක් දිගු කුටියක කය දමලා
යමු දෙව්ලොව සිව්මහ නරකය සොයලා

පෙර පින් ඇති-අය නම් වෙති
සැප වලදති-සැපට මැරෙති
දුකම දකින- දුකම විදින
දුක වලදන- දුකින් මැරෙන
පෙර පව් ඇති-දනෝ සිටිති

සැප වලඳා සැපට මැරෙති
දුක වලඳා දුකට මැරෙති
දුක වලඳා සැපට මැරෙති
සැප වලඳා දුකින් මැරෙති
                                       කොහොම උණත් සැවොම මැරෙති
                                          ගමනේ නම් නිමක් නොමැති
තමන් තුලින් ආලෝකය දකින.....................තුරු
සදහම් සෙවණ යට මේ සිත නිවෙන.............තුරු
ගොරතර සසර බිය දැක දුක නිවන...............තුරු
සිනහව කඳුල කුමටද දිවි තිබෙන.................තුරු

Monday, December 30, 2013

නොහැක හැරයන්න

නොහැක හැර යන්න මට
නොහැක යන්න මට
නොහැක මට
නොහැක

ඔබට ආදරේ කරන්න
ඔබට ආදරේ
ඔබට

නොහැක
හැර
යන්න

ඔබට
ආදරේ

කරන්න