Thursday, June 12, 2014

මගෙ ලෝකය වෙලා ඉන්න

හැකිනම් වහින්න
වැස්සක් වී ඔබ
තෙමී තෙමී ඉන්නම්

හැකිනම් නගන්න
මේඝ ගර්ජනා
මම ඉවසා ඉන්නම්

හැකිනම් නැගෙන්න
වියරු රළක් වී
මම ඔබ හා එන්නම්

හැකිනම් උදුරා
රැගෙන යන්න මග
හුස්මත් මම දෙන්නම්

පාළු සීත රෑ යාමේ
මට කවි සීපද කියන්
දුකින් හඬන විටදි මගේ
කඳුලු බිංදු පිසින්
දුක් කරදර සතුටු සිනා
මතකය පොදි බැඳන්
මා තනිකොට ඉවත නොයා 
මගෙ ලඟ නුඹ ඉඳින්

නිවන් දකින තුරා
සසර සරන තුරා
දුකත් සැපත් දරා
මගේ ලඟට වෙලා
මගෙ ලෝකය වෙලා
රැඳෙන්න ඔබ සදා

Sunday, May 11, 2014

රළක් වෙරලකට කී කවිය




ඈත ඉදන් මම ආවේ ඔබ හා එක් වෙන්නයි
හඬ නැගුවේ පෙණ නැගුවේ ඔබ හට ලං වෙන්නයි
අසුරු සැනින් අප හමුවී යලි වෙන්වී යනවයි
ඔබ හා ඉන්නට මට පෙර පින් මදි බව සත්තයි

මගෙ පෙණ කැටි ගෙනෑන මුතු ඔබහට පලදන්නම්
සඳ එළියට දිදුලන වැලි තල මම සිප ගන්නම්
ඈත ඉඳන් උනත් නුඹට මම සෙනෙහස දෙන්නම්
කවදා හෝ ඔබ ලය මත වැතිරී මිය යන්නම්

දහස් වරක් ඔබ සතුවී මම යලි මියැදෙනවා
ඔබේ සුසුම් කඳුළු බිංදු මම පිසදාලනවා
හැම රැයේම ඔබ හා මම රහසේ එක වෙනවා
මගේ කඳුළු සඟවා මම හැමදා හිනැහෙනවා



Monday, April 28, 2014

අභිනිෂ්ක්‍රමණය කල සිද්ධාර්ථට යශෝදරා ලියූ කවි


සෙනෙහෙන් හිස අත ගාමින් ලඟ උන්න
මුදු බස් තෙපලමින් ඔබෙ ගුණ ගී හඬ දුන්න
සිරියහම ඇත වී අමු සොහොනක්ව
වැතිරී නිදමි මම එහි මළ මිනියක්ව


කිරිසුවදැති මුව ඉහලට විදාලා
නෑසෙන බසින් පුතු මගේ  කන් සිසාරා
හඬදී අසයි කොහිදැයි ඔබ කියාලා
සුළඟක වෙලී හෝ එනු මා සොයාලා

 
නොහැකිය හිමියනේ මට පුතු හැර එන්න
විදිනා කටුක දිවිමග ඔබ හා යන්න
නොහැකිය ඔබට මෙන් කම්පා නොම වෙන්න
ඔබහට පිදූ පෙම ඇත මට සැනසෙන්න



දුවවිත් දිනෙක මගෙ පා මුල වැටීලා
තෙමමින් දෙනෙත් කඳුලින් හිස ඔබාලා
කිසිදා නැවත තනි නොකරමි කියාලා
පවසනු ඉතින් ඔබෙ හිමි මම කියාලා


Tuesday, April 22, 2014

අපි කපා ගන්නා අපේ වල

තාක්ෂණය ඉතා වේගයෙන් ස්වභාවික ලෝකයත්, ස්වභාවික මිනිස් හැසිරීම් රටාවත් වෙනස් කරමින් ගමන් කරයි. මිනිසාට, තමා මිහිතලය මත වෙසෙන සතෙක් නොවන වග පසක් වන තරමටම තාක්ෂණය ඔහුව වෙනස් කර ඇත. අවශ්‍යතාවල වල අන්තයක් මීනිසාට නොපෙනෙන තරමටම මිනිස් අවශ්‍යතා සංකීරණ වී ඇත. එසේම වැඩ පහසු කර ගැනීමේ අන්තයක් සොයා ගැනීමට බැරි වන තරමට මිනිසා තම වැඩ කටයුතු පහසු කර ගැනීමට යත්න දරයි. මේවායේ අවසාම ප්‍රථිඵලය, මිනිසා සතුටු කිරීමට සහ ඔහුගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට, සියලු ජීවීන් සඳහා පවතින සම්පත් තනි ජීවී විශේෂයක් අණසකට නතු වීමයි. එහෙත් සොබා දහම කිසිදු නිර්මාණයක, රටක, ජාතියක,ජීවී විශෙෂයක සීමා මායිම් නොතකා තමාගේ ගතික ස්වභාවය පවත්වාගෙන යයි. මෙම සමතුලිතතාවය බිඳුනු පසු එය නැවත සකස් කිරීම සඳහා මුග්ධ මිනිස් ප්‍රජාව දරන කිසිදු උපක්‍රමයක් ඔහුගේ පැවැතමට හේතු නොවනු ඇත. 
ලෝකයේ කවර රටක් වුවද වර්තමානයේ මෙහෙයවනු ලබන්නේ දේශපාලනයට වඩා ආර්ථිකය විසිනි. මිනිසා විසින් තමාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමටත් වඩා මුදල් ඉප්යීමටත්, මුදල් ගබඩා කොට වත්කම් තර කර ගැනීමටත් පෙලඹීම පුදුම සහගතය. රටවල් තවත් රටක් දෙසට දිගුකරන දෑතත්, දිගු කරන අවියත් යන දෙකම මෙම  මුදල් මත පදනම් වීම ඇති අතර වර්තමානයේ රටවල් අතර පවතින විවිද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලටද යුද ගැටුම් වලටද හේතු වී ඇත.
වර්තමානයේ රටවල් අතර පවතින විවිද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලටද යුද ගැටුම් වලද නොපෙනෙන බලවේගය වන්නේ මුදලයි.
මිනිසා ස්වභාවික ලෝකය සමග මුදලින් ගනුදෙනු නොකරන නමුත්, ස්වභාවික ලෝකයෙන් තම අසීමිත ආශාවන් සපුරා ගැනීමට භාවිත කරන සියලුම ස්වභාවික ලෝකයේ දායාදයන් මුදලින් තක්සේරු කරයි.එසේම ඒ සඳහා තම වර්ගය මරා දැමීමත්, මුලා කිරීමත් සිදු කරයි.
දේශපාලනය මුදල් ඉපයීම සඳහා අවියක් ලෙස යොදා ගනිමින්, මිනිසා විසින් මිනිසා මතම හෙලනු ලබන විනාශයේ අන්ධකාරය, ඒ සඳහා වග කිව යුතු සහ ඒ පිළිබඳව කිසිවක් නොදන්නා අසරණ ජීවීන් රාශියකටද විනාශය ගෙන එනු ඇත. සාමූහයක් වශයෙන් මිනිසා තාක්ෂණයේ ආශ්චර්යය බෙදා ගනිමින් සුවය ලැබූවද, ස්වභාවිකත්වයෙන් ඈත්වීමෙන් මිනිසා ලබන ප්‍රථිඵල බෙදා ගැනීමට ඔහුට නොහැකි වනු ඇත.වර්තමානයේ අප කිසියම් පීඩාවකින් සිටීනම් එය අපගේ වර්ගය විසින්ම ඇති කර ගත්තක් විනා පිට සක්වලකින් හෙලනු ලැබූ නරකක් නොවේ. අප සැබැවින්ම අපගේ අතිශය පීඩාකාරී අනාගතය තනමින් සිටී. එයට අකමැත්තෙන් වුවද දායක වී සිටීමට ගෙම්බාටද සිදුවී ඇත.

එතෙක් ඔබ ලඟ ඉන්න




තව ටිකයි
සමුගන්න
එතෙක් ඔබ මෙහි ඉන්න

කාටවත් නොපෙනෙන්න
ඔබ සිනා නංවන්න
ඇස් වලින් කතා කර
මට සතුට ගෙන එන්න

කාටවත් ඇහෙන්නැති
ලෙසින් ගී මුමුනන්න
අයෙමත් නෙත් යොමා
හොරෙන් ඔබ හිනැහෙන්න

රහසෙන්ම ඔබ එන්න
මගෙ සිහින වල ඉන්න
මගෙ ලගින් සැතපෙන්න
මගේ දෙව් දුව වෙන්න

නික්ම  යන තෙක් ඉතින්
මෙලෙස ඔබ ලඟ ඉන්න
මද සිනා නන්වන්න
නෙත් වලින් හිනැහෙන්න

වෙනවෙලා යන දිනෙක
හෙමින් මට නෑසෙන්න
ආදරෙයි කියා මට
නික්මිලා ඔබ යන්න

ලඟ උනත් දුර වගේ...දුර උනත් ලඟ වගේ
ලඟ ඉන්න ඔබ මගේ...සුවඳ දෙන මල වගේ

Monday, April 21, 2014

ඔබ ආවා

         සියලු දොරවල් විවර කරගෙන
      බලා උන්නා මම ගොඩක් කල්
     හෙමින් හෙමින් අඩි තිය තිය
   ඔබ ආවා ඈත ඉදන්
 හැම අතින්ම විදුලි අකුණු
 මහා මේඝ පුපුර පුපුර
    කල්ප අන්ත මහා මේඝ
      අතර මැදින් ඔබ ආවා
               වියලි දෙපා පැලී හඬන
             පොළව දැවී ගිනියම් වුණ
           පිපාසිතව මිය යන මේ
        කතර මැදින් ඔබ ආවා
      සිනා සලන
    හඬා වැටෙන
  සහසක් වග වලසුන් මැද
තනිවී හිඳ බොහෝ කලක්
හෙමින් හෙමින් ඔබ ආවා
               කාම රාගයෙන් තෙත්වුන
              ද්වේශ වේගයෙන් රත් වුන
            මෝහ මාලිගාවල සිඳ බිඳ
           මගේ ලොවට ඔබ ආව
                         යලිත් නොයන
                           ලෙසට මෙතන
                              මාත් සමඟ නතර වෙන්න
                               සංසාරේ ඉතුරු ටිකත්
                             මාත් එක්ක එකට යන්න
                           ගොඩක් මතක පොදි බැදගෙන
                         ඔබ ආවා මගෙ හෙවණට

Saturday, March 1, 2014

පහනට වැඩිය මෙරු

අඳුර ඉරාගෙන
සතුට හොයාගෙන
ඇදී ඇදී යන
නව ජීවිත

එළිය දමාගෙන
ලොවම දවාගෙන
නැගී නැගී එන
ගින්දර

         නැගී
    නැගී 
  රඟ දිදී ඉඳී
 වෙලී වෙලී ගත
(___________)        දවා නිමී යයි
හිනා වෙවී රඟ දුන්
සතුට සොයා ආ
නව ජීවිත

Friday, February 21, 2014

මකා දමා නික්ම යන්න

තැබූ සියලු පා සටහන්
සිතුවිලි වැලි තලාවේ
මකා දමා නික්ම යන්න
මගේ ලෝකයෙන්

ඈත එපිට ක්ෂිතිජ ඉමේ
හිරු මුහුදේ ගිලී ගොසින්
අඳුරට ඉඩදී මිය යන
හැන්දෑවේ

මෑත සුමුදු වෙරළ කොනේ
රළ පිට රළ මතුව ඇවිත්
සියලු සිහින මකා දමන
හැන්දෑවේ

හිරුත් සමග අදුරෙ වෙලී
මම තනිවම මිය යන්නම්
රළත් සමග දියෙහි ගිලී
මම මතකෙන් දුරු වෙන්නම්

හෙමෙන් හෙමින් පා ඔසවා
මතකය අරගෙන ඔබගේ
නිකම යන්න මා තනිකර
ඔබ පතනා හෙට දවසට

Tuesday, February 18, 2014

ප්‍රථම ප්‍රේමය

සිහිනෙකට
ඇවිත් නුඹ
හෙමින් සක්මන් කරයි
මගේ සිතුවිලි අතර
එහෙත් මගෙ හිත කොනක
නතර වී එක තැනක
බලා හිඳිනා ප්‍රථම
ආදරේ ඔබ නොවෙයි

අතීතේ යම් දිනෙක
නාඳුනන මලකට
පෙම් කලෙමි රහසින්ම
ලොවටත් ඔබටත් රහසින්ම
අයිති නොවනා වගත්
නොලැබෙනා මුත් ආදරය බිඳක් වත්
දැන දැනම
පෙම් කලෙමි
සුවඳ විඳිමින් මම
ලස්සන මලකට

පිය නඟා ඔබ හෙමින් ඇවිත් මඟෙ සිහිනයට
ඉවත යන්නට කියයි මගෙ ප්‍රථම ප්‍රේමයට
එහෙත් මුල් ඇදී නැඟි මහ වන්ස්පතියෙක් ලෙසට
ප්‍රථම ආලය හිඳී හිත් කොනක සදහටම

Friday, February 14, 2014

මටම අහිමි සෙනෙහෙ වැස්ස

හිරු අවුලයි දස දෙසම
වෙහෙස දැනෙයි මග දිගට
හැරී බලමි මම නැවත
ඔබ ඇත සිතිවිලි අතර

වෙහෙස දැනී ගිමන් හරින
ගිනියම් වූ විරාමයක
මද පවනක් විලස පැමිණ
නිවා දමයි මගේ වෙහෙස

පවස දැනී දැවෙන විටෙක
දිය පොදකුත් අසල නොමැත
මහා අසනි වැස්ස විලස
ඔබ පැමිණෙයි මගේ සිතට

තනිකම විත් වෙලෙනා විට
දහසක් මනු සත් කැල මැද
ඔබ ඇවිදින් මගේ ලගට
වෙලා ගනියි මා රහසෙම

ගිමන් නිවන සුළන් රැල්ල
පවස නිවන අසනි වැස්ස
තනිය මකන සිහින වැස්ස
මටම අහිමි සෙනෙහෙ වැස්ස